hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 26, පෙ.ව. 6:15



වෘත්තීයවේදීන් හා ජනාධිපතිවරයා අතර ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ඒ අනුව සිය විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයමක් ලබන පුද්ගලයෙකුගෙන් ජනවාරි මාසයේ සිට 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව මෙම සාකච්ඡාව පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඒ අනුව සිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අපි එක්කෙනෙක්වත් අපේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කළේ නැහැ. සමස්ත වෘත්තීයවේදීන්ගේම හඬ තමයි අපි නියෝජනය කරන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන උත්තරය අපිට අද දවසේ ලැබුණේ නැහැ. අපි කිව්වේ තවදුරටත් අපිට මේ බද්ද දරාගන්න බැහැ. ඒ නිසා ක්ෂණිකව යම් සහනයක් ලබාදෙන්න කියලා.ජනාධිපතිවරයාගේ පැත්තෙන් පිළිගත්තා අපේ යෝජනා ඉතාමත්ම සාධාරණයි කියලා. රාජ්‍ය ආදායමට හානියක් නොවන විදියට මේක කරන්න කියලා තමයි අපි ඉල්ලුවේ. ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා IMF නියෝජිතයින් සමග සිදුකරන සාකච්ඡාවලට වෘත්තිකයෝ විදියට අපිටත් සම්බන්ධවෙන්න කියලා. නමුත් අවසාන වශයෙන් ගත්තාම මාර්තු 01 වනදායින් පස්සේ ආරම්භ වෙන විරෝධතා මාලාව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා අද දවසේ සිදුවූ සාකච්ඡාව කිසිම බාධාවක් වුණේ නැහැ.”

ඒවා නතර කරන්න අවශ්‍ය ධනාත්මක ප්‍රතිචාරයක් අපිට ලැබුණා කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා අපි අරගෙන තිබෙන තීරණ ඉදිරියට ගෙනයනවා. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියවෙච්ච දෙයක් තමයි IMF එකට යන්නේ නැතුව මේ රට ගොඩගන්න බෑ කියන එක. IMF අවසන් එකඟතාවයකට එන්න කලින් බදු සංශෝධනයක් සිදු කළොත් ඒක ඝෘණාත්මක ලෙස බලපායි කියලා තමයි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පැවසුවේ. ඒක අපි පිළිගන්නේ නැහැ. IMF කියන්නේ මේ මුදල එකතු කරගන්න කියලා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මේ බදු සංශෝධන වෘත්තිකයින්ට දරාගන්න පුළුවන් මට්ටමට ගේනකම් අපි මේ සටන අත්හරින්නේ නැහැ.” 

ඊට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය, විදුලිය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40ක වෘත්තීයවේදීන් එක්ව සිටියා.