2023 මාර්තු 01, පෙ.ව. 4:34
උපයන විට ගෙවන බදු සංශෝධන පනතට එරෙහිව අද (01) රට පුරා වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන තිබෙනවා.
මෙම බදු පනතට මෙන් ම, ජීවන වියදම ඉහළ යාම, විදුලි බිල ඉහළ දැමීම, ණය පොළී වාරික ඉහළ දැමීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණය කල් දැමීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව මෙම විරෝධය පළ කරන බවත් වෘත්තීයවේදීන්ගේ මෙම විරෝධතාවලට ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද එක් වන බව එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවා.
කෙසේවෙතත් වෛද්‍ය, දුම්රිය, ගුරු සහ තැපැල් වෘත්තිය සංගම් පැවසුවේ තමන් වර්ජනයට එක් නොවන අතර විරෝධතාවක් පමණක් පවත්වන බවයි.
මෙවැනි පසුබිමක වරාය, ගුවන්තොටුපොළ හා මඟී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
මඟීන් හෝ භාණ්ඩ, පිට කිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන, භාණ්ඩ හෝ ගල්අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරෙනවා.
ඒ අනුව මාර්ග, පාලම්, බෝක්කු, ගුවන්තොටුපොළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගීන් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අදාළ ගැසට් නිවේදනයෙන් අර්ථ දක්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
කෙසේවෙතත් රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අද දින දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතයි.
ඊට වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ආදි ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක් වන බව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
එම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිය සමිති නියෝජිතයින්ද එක්වන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දහවල් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා තීරණය කර ඇත්තේ හෙට පැවැත්වෙන වැඩ වර්ජනයට එක් නොවී විරෝධතාවක් පමණක් පැවැත්වීමටයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,
“එක දවසක වැඩවර්ජනයක් හරහා හෙට දවසින් මේ ප්‍රශ්නය විසඳන්න මේ පාලකයින් සංවේදී පිරිසක් නෙමෙයි. ඒ නිසා අපිට ඉදිරියේදී සතියක කාලසීමාවකින් ඔබ්බට ඉතාම තීරණාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන්න වෙනවා. ඒ ක්‍රියාමාර්ගවලට එළඹීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය වැදගත් වෙනවා.. මේ රටේ පාලකයින්ට යම් පණිවිඩයක් දෙන්න. එතකොට ඒ අවස්ථාව අපි මෙතෙන්දි ඉතුරු කරගෙන… අපි හෙට දවසේ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.”
මේ අතර තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේ අද පැවැත්වෙන වර්ජනයට තමන්ද සහාය දෙන නමුත් ඊට එක් නොවන බවයි.
දුම්රිය වෘත්තිය සමිති ද අද දින වර්ජනයට එක් නොවන අතර විරෝධතාවක් පමණක් පවත්වන බව සඳහන් කළා.
ගුරු සංගම්ද ද අද දිනයේ වැඩවර්ජනයට සහාය පළ නොකරන අතර ඔවුන් කළු පටි පැළැඳ සේවයට වාර්තා කරන බව ප්‍රකාශ කළා.
මේ අතර සියලු බැංකු සේවකයන්ට අද දින සේවයට වාර්තා කරන ලෙස ලංකා බැංකු සහ මහජන බැංකු සභාපතිවරුන් දැනුම්දී තිබෙනවා.
සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් අද (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකොට ඊට සහාය ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකයන් ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කර තිබෙනවා.
බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීයි මෙම කරුණු අනාවරණය වී ඇත්තේ.
රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන ලෙස සහ ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්නොවන ලෙස බැංකු කටයුතු පවත්වාගෙන යෑමට ගතයුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.
එමෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් රජය පුළුල් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති මේ මොහොතේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය බවට වූ පණිවිඩය ජාත්‍යන්තරයට යෑම රටට යහපත් තත්ත්වයක් නොවන බව එහිදී සාගල රත්නායක මහතා පෙන්වා දුන්නා.
බැංකු සේවක සේවිකාවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවලදී, වැඩවර්ජන සිදු කරන දිනයේ දී යතුරු භාර දීම, රන් ආභරණ ඇතුළත් සේප්පුවල යතුරු භාරදීම ආදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද අද (01) දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ බැංකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව එවැන්නක් සිදුව නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවට බැංකු සභාපතිවරු ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය එකඟතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ ආර්ථිකය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ සහාය අත්‍යාවශ්‍ය බවත්, රට වෙනුවෙන් සිය වගකීම පැහැර නොහරින ලෙස සියලු බැංකු සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවයි.
එමෙන්ම මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේ, බදු අයකිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ගතයුතු පියවර පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
සමස්ත රටම ආර්ථික අසීරුතාවකට මුහුණ දී සිටින මේ මොහොතේ අවබෝධයෙන් කටයුතු කරමින් රටේ හෙට දවස යහපත් කර ගැනීමට සහාය දීම සියලු දෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වා දුන්නා.
2025 ජූනි 09, ප.ව. 3:54
2025 ජූනි 09, ප.ව. 3:16
2025 ජූනි 09, පෙ.ව. 10:19
2025 ජූනි 09, පෙ.ව. 12:11
2025 ජූනි 09, පෙ.ව. 12:11