hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 28, පෙ.ව. 4:13



කච්චතිව් දූපතේ බුදු පිළිමයක් තැබීමට නාවික හමුදාව මේ දිනවල කටයුතු කිරීම සම්බන්ධයෙන් උතුරේ කිතුනු හා හින්දු ආගමික නායකයන් සමග දෙමළ දේශපාලනඥයන් පසුගිය 25 වනදා විරෝධය පළ කොට තිබෙනවා.

නාවික හමුදා භටයන් අට දෙනකු හෝ දහ දෙනකු පමණක් රාජකාරී කරන කච්චතිව් දූපතේ බුදු පිළිමයක් තැබීමට සියලු කටයුතු යොදා අවසන් බවත් එම බුදු පිළිමය නාවික හමුදා නිලධාරීන් විසින් ආවරණය කොට ඉදිකිරීම් කටයුතු කරගෙන යන බවත් උතුරේ කිතුනු – හින්දු බැතිමත්හු හා දෙමළ දේශපාලනඥයෝ ප්‍රකාශ කරනවා.

නාවික හමුදාව එසේ නොකරන බව පැවසුවත් තවත් සති දෙකක් යෑමට පෙර කච්චතිව් දූපතේ දැනට ඉදිකරගෙන යන බුදු පිළිමය වන්දනාමාන කිරීමට නිරාවරණය කරණු ඇතැයි උතුරේ දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කොට තිබෙනවා.

ඔවුන් කියන්නේ කච්චතිව් දූපත ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන විට එහි වූයේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර පමණක් බවයි.

1974 වසරේ සිට ඉන්දීය බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් එක්ව එම දේවස්ථානයේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යය පවත්වනු ලැබුවත් මේ දක්වා වෙනත් කිසිම ආගමකට අයත් ප්‍රතිමා හෝ සංකේත තබා නොමැති බවද ඔවුහු කියයි.

ආගමික නායකයන් මේ ගැන දෙමළ දේශපාලනඥයන්ට පැවසීමෙන් පසුව කච්චතිව් දූපතේ බුදුපිළිමයක් ස්ථාපිත කිරීම ඉතිහාසය වෙනස් වීමට හා සිංහල දෙමළ වැසියන් අතර යළි මත ගැටුමක් ඇතිවීමට බලපාන බැවින් වහාම එම තීරණය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස දෙමළ පක්ෂ රජයෙන් ඉල්ලීමක් කරන බව ඔවුන් යාපනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබෙනවා.