hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 මාර්තු 27, ප.ව. 9:27



බිත්තරවල ප්‍රමිතිය හා සෞඛ්‍යාරක්‍ෂිත බව සහතික කරමින් ඉන්දියාවේ සමාගමකින් බිත්තර ලක්‍ෂ 20 ක් ආනයනය කර ඇතත් ඒවා මුදාහැරීමට ප්‍රමාද කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කල්මරමින් සිටිනවා යැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.

රටේ පවතින බිත්තර මිල පාලනය කිරීමට බිත්තර ආනයනය කළ බවත් ආනයනය කළ එම බිත්තර බේකරි නිෂ්පාදන සඳහා පමණක් නිදහස් කර ගැනීමට උත්සාහ කළත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා බිත්තර රේගුවේ පවතින බවද ඇමැතිවරයා සඳහන් කළා.

කැබිනට් මණ්ඩලය ආහාර සුරක්‍ෂිතතා අනුකමිටුව ඇතුළු සියලු ස්ථානවලින් අවසර ගෙන බිත්තර ආනයනය කිරීමට කටයුතු කළත් බිත්තර තවදුරටත් රේගුවේ තබා ගැනීමට සිදුවීම ජනතාවට කරන අසාධාරණයක් බවත් ඇමැතිවරයා කියා සිටියා.

රජය තීරණ ගත්තත් ඇතැම් නිලධාරීන් තමන්ට අවශ්‍ය පරිදි වැඩකරන බවත් ඔවුන් සම්බන්ධයෙන් ජනතාව බලාගත යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඉන්දියාවෙන් අල, ලූනු ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගෙන්වන බවත් එම ආහාර සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට මේ ආකාරයෙන් කල් මැරීමක් සිදුනොකරන බවත් පැවසූ ඇමැතිවරයා මේ වන විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බිත්තර සාම්පල් ගෙන පරීක්‍ෂා කිරීම් සිදුකරන බවත් එහි වාර්තා මේ සතිය මැද වන විට ලැබෙනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බවත් කියා සිටියා.