hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 මැයි 17, පෙ.ව. 11:15



උපසම්පදා විනය කර්මය පිහිටුවා වසර 270ක් සපිරීම වෙනුවෙන් සියම් දේශයේ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සැමරීමට තිබූ පින්කම කඩාකප්පල් කිරීමට එරෙහිව ත්‍රිකුණාමලයේ ශාසනික සේවාවන්වලින් ඉවත්වීමක් ලෙස ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හා ලේඛකාධිකාරි හිමිවරු එම තනතුරුවලින් ඉල්ලා අස්වූවා.

ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ‍ෙදාඩම්දූවේ ධම්මානන්ද අමරපුර ශ්‍රී  කල්‍යාණවංශ නිකායේ උතුරු නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමි හා ලේඛකාධිකාරි අලුත්ඔය සද්ධාතිස්ස අමරපුර ධර්මරක්ෂිත නිකායේ නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හා කාරක සංඝ සභික හිමි යන හිමිවරු දෙපළ මෙලෙස ඉල්ලා අස්වූවා.

ඉල්ලා අස්වීමේ ලිපි ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් හා සමස්ත ලංකා ශාසනාරක්ෂක  බලමණ්ඩලයේ සභාපති  හා ලේකම්  හිමිවරුන්ට තැපෑලෙන් පෙරේදා (15) යැවූ බව එම හිමිවරු පැවැසූවා.

හිටපු සභාපති දොඩම්දූවේ සිරිධම්මානන්ද හිමියෝ පවසන්නේ තම ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ ශාසනික පින්කම් සිදුකිරීමට නොහැකි නම් තමන් වහන්සේ චීවරයක් දරාගෙන  සිටීමෙන් පලක් නොවන බවයි.

තමන් වහන්සේ යළි මෙම තනතුර භාරගන්නේ දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු පිරිස සමාව ගතහොත් පමණක් බවයි.

හිටපු ලේඛකාධිකාරි අලුත්ඔය සද්ධාතිස්ස  හිමි පවසන්නේ මෙම පින්කම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  අන්තර් ආගමික කමිටුවේදී සර්ව ආගමික නායකයන්ගේ අනුමැතිය ලබාගෙන සිදු කිරීමට සූදානම් කර තිබියදී දෙමළ පක්ෂවල පිරිසක් කඩාකප්පල් කළ බවයි.

ත්‍රිකුණාමලයේ ශාසනික කටයුතුවලදී ඉතා සමඟියක් පවතිද්දී පිටතින් පිරිසක් පැමිණ සිදුකළ මෙම ක්‍රියාව තමන් වහන්සේලා හෙළා දකින බවද කියා සිටියා.