hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 30, පෙ.ව. 10:28



කොළඹ මහ රෝහලේ හෘද කැතීටරකරණ යන්ත්‍රයක් බිඳවැටී ඇති පසුබිමක මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකකයේ යන්ත්‍ර දෙකෙන් එකක්ද බිඳවැටීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවා.

අදාළ යන්ත්‍රයේ ‍ෙදා්ෂසහගත බව නිසා වෙනත් යන්ත්‍රයක් ලබාදෙන්නැයි රෝහල් බලධාරීන් කල්තියා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි නමුත් ඊට විසඳුමක් නොදීමෙන් මෙම තත්ත්වය උද්ගත වී යැයි ධර්මවික්‍රම මහතා චෝදනා කළා.

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල ඇති අවහිරතා හඳුනාගැනීම (ඇන්ජියෝග්‍රෑම්) හා අවහිරතා ඉවත් කිරීම, ඒවා නිවැරැදි කිරීමට ස්ටෙන්ට් දැමීම (ස්ටෙන්ටින්), අවහිරතාව 90%ට වැඩි නම් බයිපාස් සැත්කම්වලට යොමු කිරීමට අදාළ රෝග විනිශ්චය, හදවතේ සිදුරු හඳුනාගැනීම හා නිවැරැදි කිරීම, හෘදයේ කපාටවල අවහිරතා හඳුනාගැනීම යන සේවා ලබාගන්නා රෝගීන් විශාල පිරිසක් මෙමඟින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ඔහු පැවැසුවා.  

2006 වසරේදී ස්ථාපනය කරන ලද මෙම යන්ත්‍රයට අදාළ අමතර කොටස් 2019 දෙසැම්බර් 31න් පසු මවු සමාගම විසින් නිෂ්පාදනය කරනු නොලබන බව දේශීය සේවා සපයන සමාගම දන්වා තිබුණේ යැයි කී හෙතෙම එසේ යන්ත්‍ර කාලානුරූපීව අලුත් මාදිලිවලට හැඩගැස්වීම සාමාන්‍ය සම්ප්‍රදාය යැයිද සඳහන් කළා.

එවිට ඒ වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපිත කළ යුතු නමුත් එය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 26ක් ඇස්තමේන්තු කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

එම මුදල වැය කර අලුත්වැඩියා කළ පසු නැවතත් යන්ත්‍රයේ බිඳවැටීමක් වුවහොත් එය විශාල මුදල් නාස්තියක් වනු ඇතැයි ඔහු අවධාරණය කළා.

2022 වර්ෂයේ මහනුවර රෝහලේ හෘද රෝග ඒකකයේ රෝගීන් 7132ක් පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වී සිටියේ යැයි කී හෙතෙම එක් යන්ත්‍රයක් බිඳ වැටුණු තත්ත්වයකදී එම රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසකට සේවය ලබාගැනීමට නොහැකි වනු ඇතැයි පැවැසුවා.

මේ නිසා ඉදිරියේදී හෘද රෝග ඒකකයේ රෝගීන්ගේ පොරොත්තු ලේඛනය තවදුරටත් දිග්ගැස්සෙනු ඇතැයිද හෘද කැතීටරකරණ ඒකකයේ යන්ත්‍ර ස්ථාපිත නොකළහොත් රෝගීන්ට මියැදීමට සිදුවනු ඇත්තේ රෝගය පවා හඳුනා නොගෙන යැයිද ඔහු සඳහන් කළා.

දැනට ලංකාවේ රෝහල් 11ක හෘද කැතීටරකරණ යන්ත්‍ර 14ක් ඇතැයිද කොළඹ මහ රෝහලේ යන්ත්‍ර තුනෙන් එකක්ද මේ වනවිට මාසයකට අධික කාලයක් තිස්සේ බිඳවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Example Image