hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 04, ප.ව. 6:08



තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මින් ඉදිරියට එවන් වැරදි අතපසුවීමේ සිදුවීම් නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවයි.

මෙරට දේශන කිහිපයකට පැමිණි ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික දේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි දිවයිනෙන් පිටව යාමේදී කටුනායක ගුවන් තොටුපළේදී පැය 12කට ආසන්න කාලයක් රැඳීසිටීමට සිදුවූ පුවතක් පසුගියදා වාර්තා වුණා.

එම පුවත සැලවීමත් සමග ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට වගකිවයුතු නිළධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් වරාය නාවික ගුවන් සේවා අමාත්‍යංශයට දැනුම් දී තිබුණා.

අදාළ පුවත සම්බන්ධයෙන් පසුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයකදී පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි අදහස් පළකර තිබෙනවා.

උන්වහන්සේ එහිදී පෙන්වා දී ඇත්තේ තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව දැනගන්න ලැබුණු බවත් මෙම සුළු සිදුවීම පිළිබද පරීක්ෂණයක් කිරීම වෙනුවටසිදුකළ යුත්තේ මෙලෙස අත්වැරදීම් සිදු කිරීම මග හරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම බවත්ය.

අදාළ දින සිදුවූ සිද්ධිය පිළිබදව ද පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි එම දේශනයේදී පැහැදිලි කළ අතර ප්‍රභූ මගී පර්යන්තය තුළදී තමන් මුහුණ දුන් අත්දැකීම් ද උන්වහන්සේ එහිදී පැහැදිලි කර තිබෙනවා.