hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 06, ප.ව. 5:26



පරිසර විනාශයන් සම්බන්ධයෙන් පවරන නඩු කඩිනමින් අසා තීන්දු ලබාදෙන ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් දැනට පවතින තත්ත්වය යටතේ තීන්දුවක් ලබාදීමට වසර ගණනාවක් ගතවන නිසා එම කාලය තුළ පරිසරයට විය යුතු හානිය සිදුව අවසන් වන බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවැසුවා.

පොල්ලේබැද්ද රඹකැන් ඔය අක්කර 7500ක භූමි ප්‍රමාණයක සිදුවෙමින් පැවැති පරිසර විනාශය සම්බන්ධව තමන් පරිසර යුක්ති කේන්ද්‍රය සමඟ නීති මාර්ගයට ගිය බවද හෙතෙම සඳහන් කළා.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ඊයේ (05) මහනුවර දළදා මාලිගාවේ පැවැති පරිසර වැඩසටහනකට එක්වෙමින් වන්නිලැත්තෝ මේ බව පැවැසුවා.

දැනට පවතින පරිසර නීති වුවද පරිසර ආරක්‍ෂාව සඳහා ප්‍රමාණවත් වුවත් එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවද වර්තමානයේ සිදුවන පරිසර විනාශය නතර කිරීම සඳහා අදාළ අංශ කටයුතු නොකළහොත් ඉදිරියේදී කොන්ක්‍රීට් වනාන්තරයක් පමණක් ඉතිරි වන බවද ආදිවාසී නායකයා ප්‍රකාශ කළා.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැති ජගත් පරිසර සමුළුවකට තමන් සහභාගි වූ බවත් මේ වන විට පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව ලෝකයේම අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළා.

පරිසරය ආරක්‍ෂා කර ගැනීම පිණිස ස්විට්සර්ලන්තයේ දැඩි නීති ක්‍රියාත්මක බවත් ගසක් නොසිටුවා කිසිදු අවස්ථාවක ගසක් කැපීමට එරට අවසර නොලැබෙන බවත් එබැවින් අප රටේ පරිසරය රැකීම සඳහා පවතින නීතිරීති යාවත්කාලීන කළ යුතු බවද පරිසරය විනාශ කරන්නන්හට දැඩි දඬුවම් ලබාදිය යුතු බවද කී ආදිවාසී නායකයා පරිසරයට සිදුකරන විනාශය නිසා ස්වභාවධර්මය කුපිත වී නොයෙක් ආකාරයේ ව්‍යසන අප හමුවට පමුණුවන බවත් ගංවතුර, නියඟය, කොරෝනා, ඩෙංගු ඊට උදාහරණ කිහිපයක් පමණක් බවත් සඳහන් කළා.

තමන්ගේ උපන් දිනය දා ගසක් සිටුවීමට සෑම දරුවකුම හුරු කළ යුතු බවත් ඒ ඔස්සේ පරිසරයට ආදරය කරන්නට ඔවුන් තුළ හැඟීමක් ඇතිවන බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියා.

මෙම අවස්ථාවට ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතීරා මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූවා.

Example Image