hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 15, පෙ.ව. 9:55



රාජ්‍ය සේවය පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති මඟින් හා චක්‍රලේඛ මගින් කොතෙක් දැනුවත් කිරීම් කර තිබුණ ද රාජ්‍ය නිලධාරීන් එම නියෝග පිළිබඳ අවශ්‍ය කටයුතු නොසලකා හැරීම හේතුවෙන් ගැටලු රැසක් පැනනැගී ඇතැයි වාර්තා වෙනවා.

මෙම පසුබිම තුළ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අසෝක, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු කරුණු හා ඉදිරිපත් නොකළ යුතු කරුණු පිළිබඳව උපදෙස් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු කරුණු, ඉදිරිපත් නොකළ යුතු කරුණු සහ යම් ගැටලුවක් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව චක්‍රලේඛ මගින් දැනුවත් කිරීම කර තිබුණ ද බොහෝ අවස්ථාවලදී ඒ කෙරෙහි අවධානයක් යොමු නොකරමින් කටයුතු කරන අවස්ථා නිරීක්ෂණය වී ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙනවා.

පෙර උපදෙස් අනුව කටයුතු නොකරන අවස්ථාවලදී ඇති වන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් වගකීමට බැඳී නොසිටින බව ද හෙතෙම අවධාරණය කරනවා.

ගැටලුව නිසි පරිදි හඳුනාගෙන, අධ්‍යයනය කිරීමකින් තොරව ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරන අවස්ථා තිබෙන බව ත්, ආයතන සංග්‍රහයේ පැහැදිලි වශයෙන් විධිවිධාන දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ම, නැවත නැවත ආයතන විමසන බව ත් එහි දක්වා තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති මඟින් ආවරණය වන කරුණු සම්බන්ධයෙන් මෙන් ම, අදාළ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති හෝ ගතයුතු ප්‍රතිපත්තිමය තීරණවලට අදාළව උපදෙස් විමසන බව ද රංජිත් අසෝක එමගින් පෙන්වා දී තිබෙනවා.

එසේ ම, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙතින් විමසිය යුතු ව්‍යවස්ථාපිත ආයතනවලට අදාළ ගැටලු සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විමසීම් සිදුවන බවයි ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

රජයේ නිලධරයන් ලිපි සහ අභියාචන යොමු කිරීමේදී රජයේ නිලධරයන් නියෝජනයන් ඉදිරිපත් කළ යුතු ආකාරය දැක්වෙන ආයතන සංග්‍රහයේ 28 වන පරිච්ඡේදයේ 5 වන වගන්තිය අනුව කටයුතු නොකරන අවස්ථා තිබෙන බව ද එහි දක්වා තිබෙනවා.