hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 21, පෙ.ව. 1:02



දිවයින පුරා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව නියාමනය කිරීමට රජය  සූදානම් වෙනවා.

ජාත්‍යන්තර පාසල් පිළිබඳව අධීක්‍ෂණය සහ නියාමනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ  විශේෂ ඒකකයක් පිහිටු වීමටද තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව (National Education Commission) විසින් සකස් කරමින් පවතින බවත් සඳහන් වන අතර  අධ්‍යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙය යෝජනා වී තිබෙනවා.

මීට අදාළව දැනට පවතින නීති රාමුව කාලීන අවශ්‍යතාවන් අනුව සංශෝධනය විය යුතු බවත්, මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වුණා.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබඳවත්, එම පාසල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙ‍රුණා.

තවද ‍මෙම පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අයිතීන් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.

ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ (In service Advisors) පවතින ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කරන ලද අතර, ඒකී ගැටලු නිරාකරණය කිරීමට ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස්  දෙන ලදී. 

රජයේ පාසල්වල පවතින ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී කාරක සභා‍වේ අවධානයට යොමු වූ අතර, ඉංග්‍රීසි මාධ්‍ය හා උසස් පෙළ පන්ති සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බැව් මෙහිදී කරුණු අනාවරණය වුණා.

ඒ අනුව සිසු දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට බාධාවක්ව පවතින මෙම ගුරු හිඟය මඟහරවා ගැනීම පිණිස අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

දිවයින පුරා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර එම ගුරුවරුන්ගේ සුදුසුකම් හා ගුණාත්මකභාවය පිළිබඳව සමාජය තුළ පවතින කතිකාවත පිළිබඳවද කාරක සභාවේ දැඩි අවධානය යොමු වුණා.

ඒ අනුව පෞද්ගලික ගුරුවරුන් නියාමනයකට යටත් කොට ඔවුනගේ වෘත්තීය සඳහා නිසි පිළිගැනීමක් ඇති කර දීම වඩාත් සුදුසු බැව් කාරක සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත නිර්දේශ කළා.

වෙනත් රටවල පෞද්ගලික ගුරුවන් සඳහා බලපත්‍රයක් “Teaching License” ලබා දී එම වෘත්තීය සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබාදී ඇති බව කරුණු අනාවරණය වී ඇති බැවින් එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළද අනුගමනය කිරීම වඩාත් උචිත බව කාරක සභාව විසින් වැඩිදුරටත් නිර්දේශ ඉදිරිපත් කළා.

එබැවින් එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව කඩිනම් අවධානය යොමු කර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් නියාමනය කොට ඔවුන් සඳහා වෘත්තීමය පිළිගැනීමක් නීත්‍යනුකූලව ලබා දීම සඳහා ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ Association of International Schools of Sri Lanka (AISL) යන ආයතනවල නිලධාරීහුද මෙම රැස්වීම සඳහා සහභාගි වූවා.