hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 22, පෙ.ව. 1:36



ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන බව රෝහල්  ආරංචි මාර්ග සදහන් කරනවා.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුල අලුතෙන් ඉදි කරනු ලැබු ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය  භාවිතයට ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේදී ගැටළු ඇති වී තිබෙන අතර මෙම තත්වය නිසා රෝගීන් ද දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දෙනවා.

මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්.රංග මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසුමකදි මෙසේ සඳහන් කළා.

“වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම තමයි මෙම තත්වයට හේතු වෙලා තියෙන්නේ. ඉල්ලන වෛද්‍යවරු සංඛ්‍යාව අමාත්‍යංශය මඟින් ලබා දෙන්නේ නැහැ. එමෙන්ම විභාග සමත්වෙලා ඇතැම් වෛද්‍යවරු විදේශගතවිමත් මේ සදහා තවත් හේතුවක්. වෛද්‍යවරුන් නොමැතිකම නිසා අලුතෙන් ඉදිකොට ඇති ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරිමට නොහැකි  වෙලා තියෙනවා. ඇතැම් අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. නමුත් එය එතරම් බලපෑමක් නැහැ.”

ගාල්ල – ලලිත් චාමින්ද