hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 22, පෙ.ව. 11:56



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසනවා.

පසුගිය කාලය පරාම මෙම පනත අවලංගු කරන්නයි වවිධ රටවල්, මානව හිමිකම් සංවිධාන මෙන්ම මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන විසින්ද දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණා.

නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසන්නේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවයි.

මානව හිමිකම් කවුන්සිලයේ මෙවර පැවැත්වෙන 53වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බව ඇය සිය ප්‍රකාශයෙන් දැනුම්දෙනු ලැබුවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවත් මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ප්‍රකාශ කරනවා.

විරෝධතා නායකයින් අත්අඩංගුවට ගැනීම, විකට සංදර්ශන අතර තුර සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, විරෝධතාවල නිරත වූ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම යන කාරණා පිළිබව ද එම ප්‍රකාශයේ දී අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කරන මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය පුරාවිද්‍යා, වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශා පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බව පෙන්වා දෙන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව පවසනවා.