hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 26, පෙ.ව. 10:35



ජනාධිපති ඝාතන තැතක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටවන විට ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව විධිවිධාන හා ක්‍රියාපටිපාටියක් ඇති අතර එම විධිවිධානයන්ට අනුව නිශ්චිත ක්‍රියාපටිපාටිය මෙහිදී අනුගමනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසුවා.

සාමාන්‍යයෙන් මෙම විධිවිධාන හා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව යන විටද අදාළ අංශවලට දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළා.

මෙසේ දැනුම් දෙනු ලැබූ පණිවුඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට හා මාධ්‍ය වෙත ලබාදී සමාජ මාධ්‍යවල විශාල කැලඹීමක් ඇති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව අභ්‍යන්තර පොලිස් පණිවුඩය පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබාදුන් හා එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට විෂය භාර ඇමැතිවරයා නියෝග කර තිබෙනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ – එංගලන්ත නිල සංචාරය නිමකොට දිවයිනට ළඟා වීමේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරයාට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැඩිදුරටත් සඳහන් කළා.