2023 ජූනි 27, පෙ.ව. 3:03
ප්රතිලාභ අහිමි වූ ජනතාව මේ වන විට දැඩි පීඩනයක සිටින බැවින් අස්වැසුම සමාජ සුබසාධක වැඩ සටහනේ කිසිදු හෝ ක්ෂේත්‍ර රාජකාරියකට සහභාගි වීම සංගමයක් වශයෙන් තරයේ ප්‍රතික්ෂේප කරන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසනවා.
මහනුවර 26 දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකල එම සංගමයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ ප්රතිලාභ අහිමිවීමෙන් දැඩි පීඩනයකට පත්ව සිටින ජනතාවගෙන් මේ වන විට තම සංගමයේ සාමාජිකයන්ට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බවයි.
තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.
“මේ සමීක්ෂණය සිදු කළේ 2002 අංක 24 දරන සමාජ සුභසාධක ප්රතිලාභ මණ්ඩල පනත පදනම් කරගෙනයි. රජය මුලින්ම කරපු වැරැද්ද තමයි කිසිදු සීමාවකින් තොරව පවුල් ලක්ෂ 47ක් සදහා අයදුම්පත්‍ර කැඳවීම. ඊට අමතරව මේ පනතේ 21 වගන්තියෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ යටතේ යම් වරදක් උනානම් ක්ෂේත්‍ර රාජකාරි කරන නිලධාරීන්ට හිරේ යන්න වෙනව. විශ්‍රාම වැටුප් පවා අහිමි වෙනවා. මේ වගන්තිය සංශෝධනය කරන්න කියලා අපි නොයෙක් වර ඉල්ලුවා. නමුත් බලධාරීන් එහෙම කළේ නෑ. රුපියල් මිලියන 1100 කට අධික මුදලක් වියදම් කරලා. රාජ්‍ය නොවන සංවිධාන, සමාගම් සමිති නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් නොවන බාහිර පාර්ශව යොදවා වගකීමකින් තොරව මේ සමීක්ෂණය කළා. කිසිදු පළපුරුද්දක් නැති මේ අය අතින් විශාල වශයෙන් වැරදි සිදුවුණා. සුදුස්සන්ට ප්රතිලාභ ලැබෙන්නේ නෑ. නුසුදුසු පුද්ගලයන්ට ලැබෙනවා. මේ නිසා රටේ ජනතාව විශාල කැළඹීමකට ලක් වෙලා ඉන්නේ.
අද රට පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසළ මහජනතාව උද්ඝෝෂණය කරනවා. රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගැටළු වලට ඇහුම්කන් නොදී උද්දච්චකමින් කටයුතු කරපු උසස් නිලධාරියෝ දැන් මේ වැරදි ක්ෂේත්‍ර නිලධාරීන් පිට පටවන්න හදනවා. දේශපාලඥයෝ මේ වරද අපේ පිට පටවනවා. හරියට පණිවිඩකාරයාට වෙඩි තියනවා වගේ වැඩක් තමයි අපිට උනේ. පසුගිය පොහොර ගැටලුවේදී කුපිත වූ ජනතාව කෘෂිකර්ම නිලධාරියෙකු ඝාතනය කිරීමට පවා කටයුතු කළා. මේ සිදුවූ වැරැද්ද නිසා දැන් අපිටත් මහජනතාව අමුවට යන්න බෑ. අපි ජීවිත පවා තර්ජනයට ලක්වෙලා තියෙනවා. දැන් බලධාරීන් කියනවා මේ නිවැරදි කිරීමේ සමීක්ෂණ වලට අපිට යන්න කියලා. නමුත් අපිට මේ තිබෙන තර්ජන හමුවේ ඒ රාජකාරි අපිට කරන්න බෑ කියලා අපි සංගමයක් වශයෙන් කියනවා. අපි රජයට කියනවා අපේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.”
මෙහිදී අදහස් පළ කළ සමස්ථ ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා කියා සිටියේ නුසුදුසු බාහිර පාර්ශව යොදවා සමාජ ප්රතිලාභ ලැබීමේ සුදුස්සන් තේරීමේ සමීක්ෂණ ප්‍රතිඵල ලේඛනයට අනුව එහි බරපතළ දෝෂ පවතින බවයි.
මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවසුවා.
“මේ පනතේ 21 වගන්තියෙ තිබෙන බරපතළකම පිළිබඳව අපි බලධාරීන්ට පෙන්වා දුන්නත් ඒ අය ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකොට කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා බාහිර පාර්ශව මගින් මේ සමීක්ෂණය කළා. දැන් සමීක්ෂණ ප්‍රතිඵල ඇවිල්ලා රටම අවුල් ජාලයක් වෙලා. ජනතාව අපිටත් තර්ජනය කරනවා. අපිට ක්ෂේත්‍ර රාජකාරි වලටවත් යන්න විදිහක් නෑ. කුපිත වූ ජනතාව හමුවේ අපේ ජීවිත පවා අවදානමට ලක් වෙලා. රජය මේ තත්ත්වයට වග කියන්න ඕනේ. දැන් ඒ අයම අපිට චෝදනා කරනවා මේ තත්ත්වයට අපි වගකියන්න ඕනේ කියලා. අපි සංගමයක් වශයෙන් ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ අය අපිට කියනවා මේ නැවත සමීක්ෂණ රාජකාරි වලට යන්න කියලා. දැඩි පීඩනයෙන් ඉන්න ජනතාව හමුවට අපි යන්නේ කොහොමද. අපේ ජීවිතවලට වගකියන්නේ කවුද. ජනතාවගේ ඉවසීමේ සීමාව දැන් පැනලා තියෙන්නේ. අපිට චෝදනා කරන්න බල කරන්න කාටවත් අයිතියක් නෑ. අපිට තවදුරටත් චෝදනා කරන්න බල කරන්න ආවොත් අපි සංගමයක් වශයෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න සූදානම් කියන එක අපි මේ වෙලාවේ රජයට අවධාරනය කරනවා.”
මහනුවර – කේ.එල්.සුරවීර මහනුවර
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06