hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 ජූනි 29, ප.ව. 2:39



කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා කෝට්ටේ පාර අතර පෙරේදා (27) පස්වරුවේ දුම්රියක් පීලිපැනීමට ප්‍රධානම හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් දුම්රිය මාර්ගයේ පීලිගත කර තිබෙන ඇණ ගලවාගෙන යෑම බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. එස්. පොල්වත්තගේ මහතා පැවසුවා.

මෙය දුම්රිය මඟී ජීවිතවලට දැඩි තර්ජනයක් බව ද හෙතෙම සඳහන් කළා.

කෙසේ වෙතත්, ඊයේ පස්වරු 2.00 සිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බව ද හෙතෙම කියා සිටියා.

කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රියක් බේස්ලයින් පාර හා කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතර පිහිටි සර්පන්ටයින් දුම්රිය හරස් මාර්ගයේදී පීලිපැනීමට ලක්වුණේ පෙරේදා (27) පස්වරු 4.15 ට පමණයි.

එහිදී දුම්රිය එන්ජිම හා මැදිරි තුනක් පීලිපැනීමකට ලක් වුණා.

මේ හේතුවෙන් පෙරේදා පස්වරුවේ සිට පැය 20 කටත් අධික කාලයක් එම මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු පෙරේදා පස්වරුවේ ආරම්භ වූ අතර, ඊයේ උදෑසන අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කළ දුම්රියක් නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කළ බව ද පොල්වත්තගේ මහතා සඳහන් කළා.