hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 30, ප.ව. 6:03



නින්ජා වෙස් ගත් කල්ලියක් විසින් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් කොල්ලකා ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පන්නිපිටිය මහල්වරාව මංසන්ධිය ආසන්නයේ දී ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයෙකු සහ පිරිසක් තමන්ට පහරදුන් බවට ත්‍රිරෝද රථ රියදුරෙකුට පවසා තිබෙනවා.

එහිදී ඔහු එම ත්‍රිරෝද රථ රියදුරාට පවසා ඇත්තේ තමන් මාගම්මන ප්‍රදේශයේ පිහිටි නිවසට ඇරලවන ලෙසටයි.

ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරා එම පුද්ගලයාව සිය රථයට නංවාගෙන ගොස් මාගම්මන ප්‍රදේශයේ අතුරු මාර්ගයක් වෙත ගමන් කිරීමේදී ඇතිවූ සැකයක් මත රථය නවතා තිබෙනවා.

ඒ සමගම එහි පැමිණි ආයුද රැගත් කල්ලියක් ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඔහු සතුව තිබූ මුදලින් රුපියල් 2,500ක්, ජංගම දුරකථනය සහ ත්‍රිරෝද රථය රැගෙන පළාගොස් ඇත.

අනතුරුව ත්‍රිරෝද රථ රියදුරා එම සිදුවීම සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම සිදුවීමෙන් පැය දෙකකට පමණ පසුව අදාළ ත්‍රිරෝද රථයෙන් ගමන්කළ සැකකරුවන් ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකා ඇත.

එලෙස කොල්ලකා ඇත්තේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීමේ නිරත වෑන් රථයක්.

වෑන් රථයේ රියදුරු සිය මිතුරෙකු හමුවීම සඳහා ඉංගිරියට පැමිණි අවස්ථාවේදී අදාළ සැකකරුවන් විසින් වෑන් රථය හරස් කර එය කොල්ලකා පළාගොස් ඇත.

එහිදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති අතර එලෙස කොල්ලකන ලද වෑන් රථයද වීදියගොඩ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ අදාළ කොල්ලකල්ලිය සොයා පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Example Image