hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 03, ප.ව. 12:46



ජනප්‍රිය ගායක බයිලා ගායකයකු ඇතුළු පිරිසක් පානදුර පාලම අසල ආපන ශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් එහි සේවකයන් දෙදෙනකුට පහර දී දේපලවලට ද අලාභානි සිදු කළැයි  පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

ගායකයා  ඇතුළු පස් දෙනකුගෙන් යුත් පිරිස එම ආපන ශාලාවට රාත්‍රී 11.20 ට පමණ පැමිණ පරාටා සහ කොත්තු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි බිල නොගෙවා පිටව යාමට සැරසීමත් සමගම සේවකයන් එයට විරුද්ධ වී තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එම ගායකයා “උඹලා දැන් නැද්ද යකෝ —— කියලා” යනුවෙන් ආවේගශීලිව හැසිරී ඇති අතර ඔහු සමග සිටි පිරිස වේටර්වරයකුට සහ මුදල් අයකැමිවරයාට පහරදී අනතුරුව ප්ලාස්ටික් පුටු හෝටල් හිමිකරුට සහ සේවකයන් පහර දී විකිණීමට තිබූ වතුර බෝතල් රැසකට අලාභානි සිදු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

එම පිරිස පරාටා විස්සක්, උම්බලකඩ සම්බෝලයක්, කුකුල් මස්, කිරි හා පරිප්පු ආහාරයට ගෙන ඇති අතර ද පැණි බීම බෝතල් දෙකක් ද පානය කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

ඒ සඳහා රුපියල් 1650/= බිල ගෙවන ලෙස දැනුම් දී ඇති අතර එම පිරිසක් ආපනශාලාවේ ඉදිරිපිටට ගොස් නැවත පැමිණ ආපන ශාලාවේ හිමිකරු සහ සේවකයන් සමඟ බහින්බස් වී සේවකයන්ට පහර දී දේපළ වලට අලාභ හානි සිදුකර ඇත.

එම පහර දීමෙන් සේවකයන් දෙදෙනකු සුළු තුවාල සිදු වී ඇති අතර ප්ලාස්ටික් පුටු හතරකට සහ විශාල ප්‍රමාණයේ වතුර බෝතල් 12 කට අලාභ සිදු වී ඇතැයි හිමිකරු පවසනවා.