hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 05, පෙ.ව. 3:39



කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි ලවන්ති ජයසූරිය මාකොළ, පමුණුවිල විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක්.

ඇය වසර දහයක් මුළුල්ලේ දරුවන් නොමැති වීම නිසා පෞද්ගලික රෝහලකදී නළදරු සැත්කමක් සිදු කර ගන්නේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවයි.

ඇයගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු ලවන්තිගේ කුසට පැමිණෙන්නේ ඇයව තුන් නිවුන් දරුවන්ගේ මවක් කරමින්.

නමුත් දින කිහිපයකට පෙර ඇයට මුහුණ දීමට සිදුවන්නේ අවාසනාවන්ත ඉරණමකටයි.

ඇගේ දරු ගැබට මාස හයක් සම්පූර්ණ වූ අවස්ථාවේ දරු ගැබෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් වරින් වර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් ඇය පසුව රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් වනවා.

ලවන්තිගේ මව මෙසේ අදහස් දක්වා සිටියා.

“ප්‍රොෆෙසර් එයාගෙන් තමයි බෙහෙත් ගත්තේ. ඒ ප්‍රොෆෙසර් මොකද කරන්නේ? ස්කෑන් කරලා බලලා මං ලියුම් කෑල්ලක් දෙන්නම්. මගේ වාට්ටුවක් තියෙනවා මේ රාගම. ඒ වාට්ටුවේ නතර වෙන්න කියලා අපිට ලියුම් කෑල්ලක් දුන්නා. අනේ අපි ඒකට ගිහිල්ලා නතර වුනා. නතර වෙලා දවස් තුනක් හිටියා. දවස් තුනෙන් එක දවසක්වත් මේ ඩොක්ටර් ආවේ නෑ. අනිත් එක විශාල වේදනාවක් දැරුවා. ඒ ළමයා කෑ ගැහුවා, මගේ කොන්ද රිදෙනවා, මගේ යටිබඩ රිදෙනවා, මේ යටි බඩ හිරවෙනවා, මෙතන මොකක්ද වැටෙන්න වගේ එනවයි කියලා. මං ගිහිල්ලා එතන ඒ ස්ටාෆ් එකේ මිසීලට කොන්ද නවලා කිව්වා, අනේ මගේ දරුවා මෙහෙමයි මෙහෙම වේදනාවෙන් ඇඹරෙනවා. ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. නමුත් එක්කෙනෙක්වත් එතන ඕක ඔහොම ඔය වයසට. මේගොල්ලෝ ආවේ නෑ.”

කෙසේ වෙතත් එහිදී ඇයට මුහුණ දීමට සිදුවන්නේ අමිහිරි අත්දැකීමකටයි.

මුලදී ඇය පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ රෝහල් බලධාරීන් ඇය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ එක් කලලයක් කුසෙන් එළියට විත් බිම වැටීමෙන් පසුවයි.

ඇගේ ඉතිරි කලල දෙක සැත්කමකින් ඉවත් කලද අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.

රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි ලවන්තිගේ මව චෝදනා කරන්නේ.

“ලේ කුට්ටියක් එක්ක අර දරුවා බිමට වැටුනා. හිටගෙන බිමට වැටුනා. වැටුනහම ඒක දැකපු මිඩ්වයිෆ් කෙනෙක් ඇවිල්ලා ආපෝ කියලා ඒ මනුස්සයා විල්චේයාර් එකක් ගෙනල්ලා වාඩි කෙරෙව්වා. වාඩි කරහම අන්න අර එකට ඇස් පෑදුනා එතකොට. එයා මොකද කරන්නේ අර වැටෙන ලේ කුට්ටිය එක්ක දරුවා මෙහෙම අරගෙන තිබ්බා මගේ දරුවාගේ උකුල උඩ. තිබිලා ලේ පෙර පෙරා අරන් ගියා. ලේබර් රූම් එකට අරන් ගියා. අර ගිය පාරේ හරකෙක් මැරුවා වගේ ලේ ගොඩ. පාන්දර පහ වෙනකන් මේ ළමයා ඒකෙ කෑගැහුවා. දැඟලුවා. දරුවෝ තුන්දෙනා මොනවා වුණා ද කියලා දන්නෑ. ඒවා අපිට මොනවක්වත් පෙන්නුවේ නෑ.”

කෙසේ වෙතත් අවසානයේදී ඇයට ජීවිතයෙන් සමු දීමට සිදු වුණේ මෙලොව එළිය නොදුටු සිය බිළිඳුන්ද සමඟයි.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පමුණුවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.