2023 ජූලි 07, ප.ව. 3:03
රාත්‍රියේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා පරුෂ වචනයෙන් බැන වදිමින් තමන්ට වෙඩි තියන්නට සූදානම් වූ බවත් පන්සලේ සිටි බල්ලා නිසා දිවි ගලවා ගත් බවත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූවා.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහස්සේ මෙසේද පැවසූවා.
“මම මේ දිනවල ඉන්නේ කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම පුදබිමේ. මීට මාස ගණනකට පෙර මට කිසියම් පුද්ගලයෙක් වෙඩි තැබීම නිසා මේ වන රාත්‍රී කාලයේ පොලිසියෙන් ආරක්ෂාවට දෙදෙනෙක් එවනවා. ඉකුත් හතර වැනිදා මම රාත්‍රී 12ට පමණ බෝධිය අසල විදුලි පහන් නිවන්න ආවා. ඒ වෙලේ බෝ මළුව පිටු පසින් ගොරවන ශබ්දයක් ඇසුණා. මම ඒ දෙසට යද්දී සිවිල් ආරක්ෂක බළකායේ අය සහ පොලිස් සැරයන්වරයාත් නිදි. මම ඒද්දි බය වෙලා ඇහැරුණු පොලිස් සැරයන්වරයා පිස්තෝලය අතට ගෙන මට වෙඩි තියන්න එල්ල කළා.
“මම හාමුදුරුවෝ” කීවාම එයා මාව අඳුර ගත්තා. මෙහෙම කුකුල් නින්දෙන් කොහොම ද ආරක්ෂා කරන්නේ කියා මා දොස් කියද්දි ඔහු මට දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වදිමින් පිස්තෝලය එල්ල කරමින් වෙඩි තියන්නට උත්සාහ කළා. ඒ අවස්ථාවේ පන්සලේ ඇති කරන බල්ලා පැමිණ ඔහුගේ ඇඟට පැන්නා. ඔහු බල්ලා සමග පොරබදන අවස්ථාවේ මම ඉක්මනින් ගොස් ඝණ්ඨාරය නාද කළා. ඒ මොහාතේ ගම්වාසීන් පන්සලට දුවන් ආවා. මම 119 දුරකථන අංකයට මේ ගැන දැනුම් දුන්නා. ඒත් වැඩක් වුණේ නැහැ. මම පස්සේ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මේ ගැන දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ඊට පසු සහකාර පොලිස් අධිකාරිවරයෙකු පාන්දරම අප පන්සලට පැමිණියා.
මට වෙඩි තියන්නට සැරසුණු පොලිස් සැරයන්වරයා මීට පෙර කෙවිලියාමඩුව වැව ඉස්මත්තේ ඉඩම් බලෙන් අල්ලන්නට වැටක් ගසා තිබිය දී ගම්වාසින් ගොස් වැට ගලවා දැමීම නිසා මා සමග උරණව සිටි අයෙක්. මාව අත්අඩංගුවට ගන්න යැයි කියමින් ඔහුගේ බිරිඳ සතියක පමණ කාලයක් රෝහල්ගත වෙලා සිටියා. ඔහු රජයේ ඉඩම් භුක්ත විඳින නිසා ඒ ආදායමෙන් කොටසක් අහිංසක මිනිසුන්ට දෙන්න කියූ හෙයින් ඔහු මා සමග උරණව සිටියා. මා සමග එලෙස වෛරයෙන් සිටින අයෙකු හට මංගලගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පිස්තෝලයක් අතට දී එවා තිබියදී බල්ලා නොපැමිණෙන්නට මාගේ ජීවිතය අවසන් වෙන්නට ඉඩ තිබුණා. මාගේ ආරක්ෂාවට මා සමග වෛරයෙන් පසුවන අයකු එවීම කුමන්ත්‍රණයක් දැයි මට සිතෙනවා.” යැයි ද උන්වහන්සේ පැවසූවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08