hit counter

2025 ජූලි මස 06 වන ඉරිදා

2023 ජූලි 14, ප.ව. 2:56



තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල හඳුනාගෙන ඔවුන් ගොඩනගන මහල් නිවාස සංකීර්ණ 6ක ,නිවාස ඒකක 4074ක පදිංචි කිරීමට සැලසුම්කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදීයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීමයි.

දැනට ජනතාව පදිංචිකර ඇති මහල් නිවාසවල තිබෙන විදුලි සෝපානවල ගිනි නිවන උපකරණ ආදිය ගලවා ඒවාට දැඩි හානි පමුණුවා ඇති බවද මෙහිදී හෙළිව තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මහල් නිවාසවල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවයි

ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා, අධ්‍යාපන නිලධාරීන්, ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධවූවන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළයුතු බවත් එහිදී සඳහන් කෙරුණා.

එවිට නිවාස සංකීර්ණවල පදිංචිකරවීමට නියමිත අඩු ආදායම්ලාභී ජනතාව සම්බන්ධයෙන් පෙර අවබෝධයක් ලබාගත හැකි බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එමෙන්ම මහල් නිවාසවල පදිංචිව සිටින ජනතාවට මෙම වසර ඇතුළත හිමිකම් ඔප්පු ලබාදීම අවසන් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් මෙහිදී ලබා දුන්නා.