hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 27, පෙ.ව. 10:07



සිය වතාවක් මෙරටට පැමිණ ඇති විදේශිය සංචාරකයකු වන ජර්මන් ජාතික ජොර්ජ් සිලන් (72) මහතා පිළිගැනිමේ   උත්සවයක් 25 වනදා රුහුණු සංචාරක කාර්යංශයේ දි පැවැත්වුණා.

ඔහු මෙම මස 01 වැනිදින සියවන වතාවට මෙරට සංචාරය කිරිම සදහා පැමිණ තිබුණා.

සිංහල භාෂාව  චතුරලෙස කථාකළ හැකි ජේර්ජ් සිලන් මහතා පළමු වරට 1971 වර්ෂයේ දි මෙරටට පැමිණ තිබෙනවා.

ඒ කාලයේ දි ජේර්ජ් 19 හැවිරිදිවියේ පසුවු කොළුගැටයෙක්.

ඉන්පසු සෑම වර්ෂයකම පාහේ ජේර්ජ් සිලන් මහතා සංචාරය කිරිම සදහා මෙරටට පැමිණ තිබෙනවා.

අවිවාහකයකු වන ජේර්ජ් සිලන් මහතා වැඩිහිටි නිවාසයක රැකියාව කොට ඇති අතර මේ වන විට ඔහු විශ්‍රාම සුවයෙන් පසුවෙනවා.

ජේර්ජ් සිලන් මහතා සිය අත්දැකිම් විස්තර කරමින් මෙසේ සඳහන් කළා.

“1971 වර්ෂයේ මම ලංකාවට ආවේ ගොඩබිම් මාර්ගයෙන්. ජර්මනියේ ඉදලා යුගොස්ලියාව, බල්ගෙරියා, රුමේනියාව, ශ්‍රිසිය, තුර්කිය යන රටවල් හරහා දුම්රියෙන් හා බස්රථ වලින් ඉරාන දේශසිමාවට ආවා. ඉන්පසු ඇප්ගස්ථානය හරහා පාකිස්ථානයට ආවා. ඉන්දියායවට ඇවිත් දුම්රියෙන් රාමේෂ්වරම්වලට ආවා.  රමේෂ්වරම්වල ඉදලා බෝට්ටුවකින් තලෙයිමන්නාරමට ආවා.  ජර්මනියේ ඉදලා ගොඩබිම් මාර්ග හරහා ලංකාවට එන්න මාස පහක්විතර ගියා. පසුව කොළඹ නගරයට ආවා. ඒ කාලයේ ලංකාව හැදින්වුයේ සිලොන් කියලා. මම පළමු වරට ලංකාවට එන විට ජ.වි.පෙ කලබල. නමුත් මට කිසි ප්‍රශ්නයක් ඇතිවුනේ නැහැ. ලංකාවේ මාසයක් විතර හිටියා. නමුත් දකුණු පළාතට පොලිසියෙන් එන්න දුන්නේ නැහැ. ඉන්දියාවට යන්න කිවා. නැවත ආපු ගමන් මාර්ගය හරහා ජර්මනියට ගියා. ඉන්දියාවේ සමාජ සේවා ආයතනයක වසර 02ක් වැඩ කළ එහිදි තේරෙසා මව්තුමිය හමුවීමට අවස්ථාව ලැබුනා. නැවත 1973 වර්ෂයේ දි තමයි ලංකාවට ආවේ. ඒ කාලයේ අපිට ලංකාවේ මිනිස්සු කිවේ හිපියෝ කියලා. මට හික්කඩුවේ දි ගාමිණි මහතා හදුනා ගැනිමට හැකිවුනා. ඒ මිතුදමට දැන් වසර 50ක් වෙනවා.

ගාමිණි මහතාගේ දරුවන් තමයි මට සිංහල ඉගැන්වුවේ. ඒ දරුවන් මට සිංහල හෝඩියා කියලා දුන්නා. දැන් ඒ අය විවාහවෙලා. විවාහ මංගල පහකටම මම ආවා. සිංහල ටිකක් ලිවිමටත් පුළුවන්. 71 වර්ෂයේ ලංකාවට එනවිට දුම්රියෙන්, බස්රථයෙන් ගමන් බිමක් යනවිට අපිට සිංහල මිනිස්සු අසුන් පවා ලබා දුන්නා. දැන් නම් එහෙම නැහැ. ලංකාවේ මිනිස්සු ප්‍රියමානාපයි. ආගන්තුක සත්කාරක අතින්  ඉතා හොදයි.ඒ කාලයේ මම දුම්පානය සහ මත්පැන් පානය කළා. නමුත් දැන් ඒ සියල්ල නතර කරලා තියෙන්නේ. කිරිබත්වලට හා කට්ට සම්බල්වලට, ඉදි ආප්ප, කිරිහොදි පොල්සම්බල් හා කැවුම් පැණි වළලු යන සිංහල ආහාරවලට මම ගොඩක් කැමතියි.මට හොදට උයන්නත් පුළුවන් ලංකාව හරිම ලස්සන රටක් පෞරාණික ස්ථාන නැරඹිමට තමයි  මම ගොඩක් කැමති. ලංකාවට ආපු හැම අවස්ථාවකම  අනුරාධුපරය, පොළොන්නරුව, සිගිරිය ආදි ප්‍ර දේශවල ඇති පෞරාණික ස්ථාන නැරඹිමට යනවා. ලංකාවේ මාර්ග පද්ධතිය දැන් ගොඩක් දියුණුයි.  ඒ කාලයට වඩා ලංකාව විශාල සංවර්ධනයක් ලබලා තියෙනවා. සියවැනි වතාවට ලංකාවට පැමිණිමට ලැබිම ගැන සතුටු වෙනවා. ඇතැම් වර්ෂවල දෙවතාවක් පමණ ලංකාවට ආවා. සිංහල අවුරුද්දට ගොඩක් වේලාවට ලංකාවට එනවා.” යැයිද ජේර්ජ් සිලන් මහතා කියා සිටියා.

රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් විසින්  ජේර්ජ් සිලන් මහතා වෙත සමරු තිළිණයක් ද මෙහිදි පිරිනමනු ලැබුවා.

Example Image