hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 අගෝස්‍තු 01, පෙ.ව. 3:14



පාසල් ගුරුවරුන් හට තම පන්ති කාමරයේ ශිෂ්‍යයන් සඳහා මුදල් අය කොට බාහිර පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නීතිය ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා.                             

ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (31) සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා ඉහත අදහස් පළ කළා.      

මෙහිදී තවදුරටත් අදහස් පලකල ඒ මහතා මෙසේද සඳහන් කළා.

“පාසල් ගුරුවරුන් තම පන්තියේම සිසුන් හට මුදල් අයකරමින් පාසල් කාලයෙන් පසු හෝ ඉරිදා සෙනසුරාදා බාහිර පන්ති පැවැත්වීම බහුතර විදුහල්වල සිදුවුණා. මුදල් ඇති දෙමව්පියෝ ඒ සඳහා තම දරුවන් යොමු කළත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට මේ හේතුවෙන් විශාල අසාධාරණයක් වුණා. පන්තියේ උගන්වන්නේ නැති බොහෝ දේ මෙම බාහිර පන්තිවල උගන්වන බවට දෙමවුපියෝ අපිට පැමිණිලි කළා. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්යම පළාතේ පාසල්වල ගුරුවරු හට තම පංතියේ සිසුන් උදෙසා මුදල් අයකරමින් බාහිර පන්ති පැවැත්වීම අප තහනම් කළ පසු ඒ තහනම මේ වන විට සබරගමුව හා දකුණ පළාත් වල ක්රියාත්මක කිරීමට ආණ්ඩුකාරවරු පියවර ගත්තා. තරඟකාරී රැල්ලට දුවන අධ්‍යාපන රටාව දරුවන්ගේ පෞරුෂත්වයට අභියෝගයක් වෙලා.මම හිතන්නේ මෙම නීතිය ජාතික වශයෙන් රට තුළම ක්‍රියාත්මක වීමෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කිරීමට හැකි වෙනවා. සෑම දරුවකුටම අධ්යාපනයේ අයිතිය සම සමව ලැබෙනවා.                                                                 

“දරුවන්ට නිදහස් පරිසරයක් තුළ පීඩනයෙන් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කිරීම කාලීන අවශ්‍යතාවක් වෙනවා. අතිරේක පන්ති වල අධ්‍යාපනය ලැබීම අද විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. දරුවන්ට වඩා දෙමවුපියෝ තමයි මේ විලාසිතාවට ඇබ්බැහි වෙලා දරුවන් අතර තරගයක් ඇති කරලා තියෙන්නේ. උසස් පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යම පළාතේ පාසල් අයදුම් කරුවන් සියලු දෙනාට සියයට අසූවක් පාසල් පැමිණීම අනිවාර්ය කිරීමේ නීතියක් අපි ගෙනත් තියෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසලට පැමිණීමේ සියයට අසූවේ නීතිය ලිහිල් වූවත් ඉදිරි කාලවලදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පාසල් පැමිණීමේ නීතිය අනිවාර්ය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටුවහලක් ලැබුණා. සමබර පෞරුෂයක් නිර්මාණයට ක්‍රීඩාව ඉතා වැදගත් අංගයක් බවට පත්වුවත් පවතින තරගකාරී සමාජ වටපිටාව තුළ අධ්‍යාපනය සඳහා කාලය වේලාව යොමුකළද ක්‍රීඩාව සඳහා යොමු වීම ක්රම ක්රමයෙන් අඩුවෙලා යනවා. මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.                     

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුල මඩහපොල, විදුහල්පති ඒ.ආර්.ඒ. රණසිංහ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.