hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 06, පෙ.ව. 12:02



කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී ඇත.

පොලීසිය පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් සහ සිසුවියකි.

ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණු අතර, එම යන්ත්‍රවල ගැටීම හේතුවෙන් සිරුරුවලට බරපතළ හානි සිදුවී තිබුණි.

මෙම සිසුවා සහ සිසුවිය අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර අදාළ සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමේ රුචිකත්වයකින් පසුවී ඇති අතර, ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබුණි.

ඒ අනුව, එලෙස ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී මොවුන් දෙදෙනාම 67 වැනි මහලින් බිමට වැටී ඇති බවටද පොලීසිය සැක පළ කරයි.

කෙසේවෙතත්, අනතුර සිදුවීමට පෙර දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවද විමර්ශකයින් පවසයි.

අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තුළට යාම සඳහා මොවුන්ට අවසර ලබාදී ඇත්තේ, එහි පදිංචි, ඔවුන්ගේම පන්තියේ සිටි සමීපතම මිතුරෙකු විසිනි. 

එම මිතුරා හේතුවෙන් සිසුවා සහ සිසුවිය නිතර නිවාස සංකීර්ණයට පැමිණෙන නමුත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් එදින එහි පැමිණෙන බවට සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවය. 

සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති නමුත්, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: