hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:04



පසුගිය වසරේ තුන්වන කාර්තුව වන විට රටේ සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති බව ත් ඉන් හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන ආහාර මත ජීවත්වන බව ත් ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අනාවරණය විය.

එම වසරේ ම ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ කෘශභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10%ක් ලෙස මෙම වාර්තාවේ දැක්වෙන අතර අවුරුදු 5ට අඩු සියලු ම දරුවන්ගෙන් 1.2%ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමයින් 16,000කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පීඩා විඳ ඇති බව ද එහිදී හෙළි විය.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේ ද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

අඩු බර, මිටිභාවය, කෘශභාවය සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම, වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු 4 මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ග්‍රෑම් 2500ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනාගෙන ඇත්තේ, 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු දෙක දක්වා වන ළමයින් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බව ය.

වඩාත් ම තැතිගන්වන සුළු ඉහළ ම අඩු බර අනුපාතය වූ 24.6% නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව, සෑම දරුවන් හතර දෙනකුගෙන් එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2%ක වැඩිවීමක් බව අනාවරණය වී ඇත.

සම වයසේ දරුවන් හා සැසඳීමේදී දක්නට ලැබෙන මිටිවීම හෝ උස අඩුවීම නිදන්ගත මන්දපෝෂණය හේතුවෙන් කාලයක් පුරා සිදුවන බව හඳුනා ගෙන ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ. 

මේ අතර, 2022දී සිදු කරන සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 5 – 18 අතර ළමයින්ගේ ජාතික වශයෙන් නියෝජනීය නියැදියකදී වයසත් සමග මිටිභාවය, අධික බර සහ තරබාරුකම වැඩි වන බව අනාවරණය වී ඇත. 

ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව නිසි පරිදි නොපැවතීම ද මන්දපෝෂණ තත්ත්වය ඇති වීමට බලපා ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98%ක් ආහාර මිල ඉහළ යෑම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද කුටුම්බවලින් 74%ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට හැකියාව නොතිබූ බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. 

ආහාර අනාරක්ෂිත කුටුම්භ ප්‍රමාණය 2023 මාර්තු මාසයේ පැවති 17%ක ප්‍රමාණයට සාපේක්ෂව 2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී 24%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ළමයින්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා නිගමන හා නිර්දේශ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එහිදී දරුවන් නිදන්ගත මන්දපෝෂණයට පත්වීමට පෙර එම ළමයින් කෙරෙහි ක්ෂණික අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

තව ද, මාතෘ හා ළමා සෞඛ්‍ය (MCH) වැඩසටහන් සඳහා ගුණාත්මක මාතෘ හා ළමාපෝෂණ (MCN) සේවාවන් සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි නිපුණතාව සහිත ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පැවතීමේ අවශ්‍යතාව ද වාර්තාව මගින් අවධාරණය කර තිබේ. 

පාසල් ළමයින් සඳහා විටමින් ඒ අතිරේකය සැපයීම නවතා දමා ඇති බැවින් මෙය නැවත ගැටලුවක් බවට පත්වීමට ප්‍රථම විටමින් ඒ අතිරේකය නැවත ලබා දීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත.

වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින පවුල්වල ආහාර සුරක්ෂිතතා තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: