hit counter

2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:03



මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමිති මාලාවක් සකස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවීම හමුවේ විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ මගින් සිදුවන රිය අනතුරු හේතුවෙන් නිතර සිදුවන මාර්ග අනතුරු පිළිබඳ අවධානය යොමුකරමින් මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන The Daily Morning වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, බස් රථවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඔවුන් පසුගියදා සාකච්ඡා කළ බවයි.

රියැදුරන් සඳහා දෘශ්‍යතාව සහතික කිරීම, ශබ්ද මට්ටම අඩුකිරීම, ආසන පහසුකම් වැඩිදියුණු කිරීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් ප්‍රමිති මාලාවක් සකස් කරන බව ද ඔහු පවසා ඇත.

“බොහෝ බස් රථවල ඉදිරිපස විවිධ භාණ්ඩවලින් ආවරණය කර තිබීම නිසා රියැදුරන්ට හරි හැටි පේන්නේ නෑ. තවත් ගැටළුවක් වන්නේ ගුවන්විදුලි යන්ත්‍ර වැනි උපාංගවල ශබ්දය රියදුරන්ට සහ මගීන්ට බාධා කරන එක. මීට අමතරව, සමහර බස් රථවල නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන ආසන තියෙනවා. ආසන අතර ප්‍රමාණවත් ඉඩක් නෑ. සමහර විට ඒවා ඉතා පොඩි ඉඩක්. බස් රථවල අනවශ්‍ය ස්ටිකර් තිබීම ද ගැටලු ඇති කරවනවා. නව ප්‍රමිතීන් සකස් කිරීමේදී අපි අවධානය යොමු කරන්නේ මේවා ගැනයි.” ඔහු පැහැදිලි කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසා ඇත්තේ, රියදුරුගේ පෙනීමට බාධා එල්ල වන අයිතම ඉවත් කිරීම සහ අනවශ්‍ය ස්ටිකර් වැනි සමහර වෙනස්කම් ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකි අතර, තවත් සමහර වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට වැඩි කාලයක් අවශ්‍ය විය හැකි බවයි.

“ක්ෂණිකව ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් ආසන සම්බන්ධයෙන් ඇති කරුණු සම්බන්ධයෙන් අපට සහන කාලයක් ලබා දීමට අවශ්‍ය වෙනවා” ඔහු පවසයි.

මෙම ප්‍රමිතීන් මාසයක් ඇතුළත හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියේදී සහ අහඹු පරීක්‍ෂාවන් හරහා අනුකූලතාව පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: