hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2022 ජූලි 08, ප.ව. 12:02



රටවල් රැසක මේවන විට පැතිරයමින් පවතින BA – 5 නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

විශේෂයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව තුළ නැඹුරුවක් නැවත ඇති කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතුව ඇතැයි පෙන්වා දෙන ලේකම්වරයා එම පුරුදු මේ වන විට ජනතාවගෙන් ඈත්ව ගොස් ඇතැයිද සඳහන් කළා.

අත් සේදීම, දුරස්ථභාවය පවත්වාගෙන යාම, මුඛ ආවරණ පැලදීම සමාජය තුළින් ක්‍රමයෙන් ඈත් වෙමින් පවතින බවත් මොකා කරන පැළදීම අවශ්‍ය නොවෙන බවට සෞඛ්‍ය අංශ වෙතින් ප්‍රකාශ වීමත් සමඟ ජනතාව ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ රහිතව නිදැල්ලේ ගැවසීමට පටන්ගෙන ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවා.

මුඛ ආවරණ පළදින ලෙස මාධ්‍ය මඟින් ජනතාවගෙන් ඉල්ලනවාට වඩා වහාම තාක්ෂණික කමිටුව රැස් කර මුඛ ආවරණ පැළඳීමේ නීතිය අනිවාර්ය කිරීමේ තීරණයක් ගෙන ගැසට් මගින් ඒ බව ප්‍රකාශයට පත්කර නීතියක් බවට පත් කළ යුතුව ඇතැයි අලුත්ගේ මහතා සඳහන් කළා.

කොවිඩ් වෛරසය මේ වන විට රට තුළ පවතින බවත් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුව ඇති පසුබිමක මුඛ ආවරණ පැලදීම අත්හිටුවීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පෙන්වා දෙන වෛද්‍ය අලුත්ගේ මහතා මුඛ ආවරණ පැලදීම නිසා ශ්වසන ආබාධිත රෝග වැලදීම අවම වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද පැවසුවා.

මේ අතර නව ප්‍රභේද සමඟ නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා.

ඔහු මේ බව සඳහන් කළේ “කොවිඩ් උවදුර ඉවර නෑ: 4 වැනි එන්නත ගනිමු” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

“පළමු එන්නත ලබා ගත් පසුව 4 වන එන්නත ලබා ගන්නා ලෙස අප මීට පෙරත් ඉල්ලීමක් කළා. ඒ වන විටත් අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 97%ක් හා 100%ක් අතර සංඛ්‍යාවක් ප්‍රාථමික එන්නත් ලබා ගෙන තිබුණා. පළමු එන්නත ලබා ගෙන තිබුණේ මිලියන 7.9ක පිරිසක් පමණි. 4 වැනි එන්නත ලබා ගන්නා ලෙස ජනතාවට ආයාචනා කළා. මේ වන විට කොවිඩ් නව ප්‍රභේද මතුවීමත් සමග ඇති වන අවදානමෙන් මිදෙන්න 4 වන එන්නත අවුරුදු 20ට වැඩි සියලුම දෙනා ලබා ගත යුතුයි” යනුවෙන් අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා.