hit counter

2025 අප්‍රේල් මස 28 වන සඳුදා

2025 අප්‍රේල් 28, ප.ව. 3:52



කුඩා කළ සිට තැලසීමියා රෝගයෙන් පීඩා විදි දරුවෙක් උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගත් පුවතක් අනුරාධපුරින් වාර්තා වෙනවා.

අනුරාධපුර තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානයේ වෛද්‍ය කේ එස් හෙන්දවිතාරණ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

හැම තැනම රිසල්ට්ස් සීට් ශෙයාර් වෙනකොට කවදාවත් රිස්ල්ට්ස් ශීට් එකක් නම් ශෙයාර් කරන්නෙම නෑ කියල ඉන්න මට ඒක කඩන්න වෙනවා. මමත් ශෙයාර් කරනවා. අපේ වාට්ටුවෙ පුතෙකුත් පාස් වෙලා තියනවා.

කොල්ලා කෝල් එක දෙන්නෙ වාට්ටුවෙ ඉදන්. ඊයෙ ලේ ගන්න වාට්ටුවට ඇවිල්ල ඇඩ්මිට් වෙලා ඇදේ ඉදගෙන ඩෙස්ෆෙරාල් එක දාගෙන ඉද්දියි රිසල්ට්ස් අවුට් කරලා තියෙන්නෙ.

‘A3 යි ඩොක්ටර්!’

උඹට රිසල්ට්ස් කියපු ගමන් ඇවිල්ලා බදාගෙන සතුටු වෙන්න පවුලෙ අයට අද වාට්ටුවට එන්න බැරිවුනාට අම්මලා ගොඩක්ම අද වාට්ටුවෙ ඉන්නවා. ඒකයි රෑ අටටත් වාට්ටුවට ආවෙ.

අශ්මික අපේ පුතෙක්. මම ආපු දවසෙ ඉදන්ම වාට්ටුව හිමීට ඩිජිටලයිස් කරගෙන යන වැඩේට මට උදව් කරේ අශ්මික. වාට්ටුවෙ වැඩ වලට ඇප් හදන්න, ඩේටා බේස් හදන්න, ඩේටා එන්ටර් කරගන්න ඕන වුනාම ඒ ටික බලල කරල දෙන්නෙ අශ්මික, වාට්ටුවෙ වැඩවලට වීඩියෝ එඩිටින් කරල දෙන්නෙ අශ්මික. කොටින්ම ප්‍රින්ටර් , කම්පියුටර් කැඩුනාම, අප්ඩේට් කර ගන්න ඕන වුනාම කොල්ලා ආපහු ලේ ගන්න එනකන් මන් බලන් ඉන්න වෙලාවල් තියනවා.

අශ්මික අවුරුදු 20 ක් තිස්සෙ මාසෙකට වතාවක් ගානෙ අපිව බලන්න ඇවිල්ල, දවස් දෙක තුනක් ඉදලා යනවා. මේ කොල්ලො ලොකු වෙනවා අපි ඇස් දෙකටම දකිනවා. මේ වගේ වාට්ටුවල අවුරුදු හතරකට වඩා කිසිම කෙනෙක් ඉන්න ඕන නෑ. මගෙ මේ යන්නෙ පස්වෙනි අවුරුද්ද ! මේ ලමයි මාස තුනේ හතරෙ ඉදන් පෙරලෙනවා, ඇවිදිනවා, ලොකු වෙනවා, ඉස්කෝල යනවා, විබාග පාස් වෙනවා, රස්සාවල් හොයනවා ඔක්කොම අපි බලාන ඉන්නෙ. එක පාරටම ඊලග දවසෙ ලේ ගන්න එන්නෙ නැතිව යනකොට අපි දන්නවා ආය එයාලා එන්නෙ නෑ කියලා. අන්න එදාට අපි ෆයිල් අයින් කරලා ඩිසීස්ඩ් රෙජිස්ට්‍රියට දාලා නම කපල දානවා. එතකන් අම්මලා වගේ මේ දරුවො අපිත් එක්කමයි ඉන්නෙ. ගෙවල් වල වගේ අපිත් එක්ක රන්ඩු වෙනවා. ගෙවල් වල වගේ අපිට කරදර කරනවා. ගෙවල් වල් වගේම මොනා හරි ඕන වුනාම අපෙන් ඉල්ලනවා. තරහ වුනාම ගේම ඉල්ලනවා.

ඉතින් එහෙම පුතෙක් මේ වාට්ටුවට අරන් දෙන්න පුලුවන් ඉහලම සතුට අරන් දෙනවා.

උඹට සුබ ගමනක් යන්න ලැබෙනවා පුතා.
දිග ගමනක් යන්න නෑ කියලා දැන දැනත් ජීවිතේ වැටි වැටි ඉද්දි නැගිටලා ඉන්න හිත හදගන්න හැමෝටම බෑ පුතා. විබාගෙ ලියන්න කලින් සතියෙ ඇවිල්ලා විබාගෙ ඉවරවෙනකන් ඇතිවෙන්න ලේ අරන් යනකොට උබ මෙහෙම රිසල්ට් එකක් දායි කියලා අපි කවුරුත් හිතුවෙ නෑ පුතේ!

වාට්ටුවෙ කරන හැම වැඩකටම හොයලා බලලා උදව් කරන උඹේ රිසල්ට් එකට අපිට සතුට ඉවරයක් නෑ. අපි මේක අපිට ආදරේ කරන හැමෝටම කියන්න ඕන..

මට එවපු ශිට් එකට වඩා උඹ ලෝකෙට කියන්න දාපු රිස්ලට්ස් ශීට් එකම මාත් ශෙයාර් කරනවා. ජයග්‍රහනයට මව්වරු දහසයි කීවාට ඒක තේරුනේ අද!

‘අපි පාස් වුනොත් සතුටු වෙන්නෙ ගෙදර අයම විතරක් නෙවේ නේද අම්මෙ!’
රෑ මගෙ ලමයි එක්ක අශ්මික අයියගෙ රිසල්ට්ස් කියවද්දි මගෙ සතුට දැකලා රසිදු මගෙන් අහනවා.

ඒක ඇත්ත.
2020 මම මෙතනට එනකොට හිටපු දරුවො මේ අවුරුදු පහට අපේ වෙලා තියනකොට අපිට එහෙම දැනෙනවා.!

තැලසීමියාව කියන්නෙ වලක්වාගත හැකි රෝගයක්. ඔබ තැලසීමියා වාහකයෙක් නම් විවාහයට පෙර ඔබේ සහකරුවා හෝ සහකාරිය තැලසීමියා වාහකයෙක්ද යන්න පරීක්ශා කර ගන්න. ඔබ තැලසීමියා වාහකයෙක් වීම ඔබේ වරදක් නොවේ. එහෙත් ඔබේ දරුවා තැලසීමීයා රෝගියෙක් කිරීම සම්පූර්ණයෙන්ම ඔබේ වරදකි.
වාහකයින් දෙදෙනෙක් අතර විවාහයකින් තැලසීමියා රෝගියකු බිහිවීම වලක්වන්න.

2025. 04. 27
වෛද්‍ය කේ එස් හෙන්දවිතාරණ.
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය.
අනුරාධපුර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: