2025 ජූලි 22, පෙ.ව. 12:03
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ටීනියා දිලීර ආසාදනය ව්‍යාප්ත වෙමින් පවතින බවත් නව ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ පහෙන් එකකටම ටීනියා ආසාදනය වැළඳී ඇති බව වෛද්‍යවරුන් පවසති.
එමෙන්ම මේ දිනවල ටීනියා ආසාදනය වසංගතයක් මෙන් ව්‍යාප්ත වී යෑම සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ටීනියා හෙවත් රිංග්වර්ම් ඩෝමටොෆයිඩ් (Dermatophyte) නම් දිලීර කාණ්ඩය නිසා මෙම රෝගය රතුපාට රවුමක් මෙන් ඉතාමත් කුඩාවට සමෙහි ආසාදනය වීම ආරම්භ වේ.
මෙම ලප මැද සුව වෙමින් රවුමට, මුද්දක් ආකාරයෙන් ව්‍යාප්ත වේ. ලපයේ දාරය අවට එසවීමක් සැරව හෝ වතුර බිබිලි දැමූ ස්වභාවයක් දකින්නට ලැබේ.
මෙම ආසාදනයේ දී දැඩි කැසීමක් ඇති වන අතර කැසීම නිසා දිලීර ලපයේ මතුපිට සම කුඩු කුඩු මෙන් ගැළවී යෑමක් සිදු වේ. රාත්‍රී කාලයේදී මෙම දිලීර ආසාදනය සක්‍රීය වන අතර රාත්‍රී කාලයේ අධික කැසීම ප්‍රධානතම රෝග ලක්ෂණයකි.
ශරීරයේ දහඩිය හා තෙතමනය නිරන්තරයෙන් රැඳෙන ස්ථානවල, මැරුණු සම ආශ්‍රිතව, හිසකෙස් අතර, නියපොතු අතර, ඇඟිලිකරු ආශ්‍රිතව, ඉකිලි – කිහිලි ආශ්‍රිතව, මෙන්ම ශරීරයේ නිතරම නැමෙන දිගහැරෙන ස්ථානවල ටීනියා ආසාදනය වැළඳීම සිදු වේ. මෙම ආසාදනය ශරීරගත වූ පසු ක්‍රමයෙන් ශරීරය පුරාම ව්‍යාප්ත වේ. කෙසේ නමුත් ටීනියා ආසාදනය ශරීරයේ පවතින ස්ථාන අනුව රෝග ලක්ෂණ හා ආසාදනයේ ස්වරූපයේ සුළු සුළු වෙනස්කම් දක්නට ලැබේ.
ටීනියා ආසාදනය වැළඳීමට වයස් සීමාවක් නැත. නමුත් කුඩා දරුවන්ට, ප්‍රතිශක්තීකරණය තරමක් හීන පුද්ගලයන්ට, දියවැඩියාව සහිත පුද්ගලයන්ට හා වකුගඩු ආශ්‍රිත රෝගීන්ට, අවයව බද්ධකළ පුද්ගලයන්ට තරමක් වේගයෙන් ශරීරය පුරාවටම ව්‍යාප්ත වීමට පවතින ඉඩකඩ වැඩිය. ටීනියා ආසාදනය ස්පර්ශය හරහා ව්‍යාප්ත වේ.
සම ආශ්‍රිතව සෘජුවම ගැටෙන ඇඳුම් පැළඳුම් හිස් ආවරණ හුවමාරු කර ගැනීම, ආසාදිතයකුගේ ඇඳ කොට්ටඋර, පනාව ආදිය භාවිත කිරීම, හුවමාරු කරගැනීම නිසා ආසාදනය ව්‍යාප්ත වේ. ටීනියා සුරතල් සතුන්ටද ආසාදනය වන අතර ඔවුන්ගෙන්ද රෝගය ව්‍යාප්ත වීමක් සිදුවිය හැකිය. අධික උණුසුමක් සහිත දහඩිය දමන පරිසරයක වාසය කිරීම, සිල්ක් වැනි තෙතමනය උරා නොගන්නා ඇඳුම් පරිහරණය කිරීම, පෞද්ගලික පිරිසිඳුකම අවම වීම, සිරුර ස්පර්ශ වන සාමූහිකව ක්‍රියාකාරකම්වල යෙදීම මෙන්ම වැසිකිළි හරහාද මෙම රෝගය ව්‍යාප්ත වේ.
නිර්න්තරයෙන්ම දෑත් සේදීම, ආසාදිත ස්ථාන වියළිව තබා ගැනීම, එකම ඇඳුම දවසේ වැඩි කාලයක් ඇදීමෙන් වැළකීම, ඇඳුම් පැළඳුම්, ඇඳ රෙදි කොට්ට උර, හිස්වැසුම්, පනා ආදිය හුවමාරු කර ගැනීමෙන් වැළකීම මගින් ආසාදනයන් ව්‍යාප්ත වීම අවම කිරීමට හා ආරක්ෂා වීමට හැකියාව ලැබේ. දිලීර නාශක යොදා ඇඳුම් සේදීම සහ උණු වතුරින් තම්බා, අව්වේ වියළා ගැනීමෙන් ද මෙම දිලීරය විනාශ වේ. නයිලෝන් ඇඳුම් භාවිතය අවම කරමින් කපු ඇඳුම් භාවිතයට ගැනීම, පතුල් වැසෙන පාවහන් භාවිතා කිරීම මගින් ටීනියා දිලීර ආසාදනයෙන් තවදුරටත් ආරක්ෂා වීමට හැකිය.
2025 අගෝස්‍තු 23, පෙ.ව. 10:48
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:56
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:38
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:32
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:22