2025 අගෝස්‍තු 01, පෙ.ව. 11:06
මහජන බැංකුවේ ආර්ථික විමසුම සඟරාව (The Economic Review) කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී පසුගියදා නව මුහුණුවරකින් එළිදැක්විණි. ජාතික ආර්ථික කතිකාවත සඳහා වන සිය දශක පහක දායකත්වයේ සුවිශේෂ මංසලකුණක් සනිටුහන් කරමින් නැවත ආරම්භ කළ, මහජන බැංකුවේ දීර්ඝකාලින හා ජනප්‍රියතම ප්‍රකාශනයක් වන මෙම සඟරාව මෙවර ඩිජිටල් මාධ්‍යයෙන්ද එළිදැක්වීම විශේෂත්වයකි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහභාගි වූ අතර, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික බ්‍රැඩ්ලි එමර්සන්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම් සහ කාඩ්පත්)/ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (වැඩබලන) ක්‍රමෝපාය සැලසුම් නිල්මිණි ප්‍රේමලාල්, ආර්ථික විමසුම සඟරාවේ ප්‍රධාන සංස්කාරක මහාචාර්ය රුවනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් ඇතුළු මහජන බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක් විය. මහාචාර්ය කෞෂල්‍යා යටිගම්මන මහත්මිය විසින් මෙම සඟරාව පිළිබඳ සමාලෝචනයක් සිදුකරන ලදි.
මහජන බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ආර්ථික විමසුම සඟරාව 1975 වසරේදී ප්‍රථම වරට ප්‍රකාශනයට පත් කළ අතර, ජාතික හා ප්‍රාදේශිය ආර්ථිකය හා ආර්ථික සංවර්ධනය පිළිබඳ පාඨකයින් තුළ දැනුම හා උනන්දුව වර්ධනය කිරීම සහ ඒ පිළිබඳ ප්‍රයෝගික සංවාදයක් ඇති කිරීම සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ විය. එසේ ඇරඹි මෙම සඟරාව වටා ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ශාස්ත්‍රඥයින්, පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් ඇතුළත් පුළුල් පාඨක පිරිසක් ඒකරාශි විය.
එමෙන්ම මෙම සඟරාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සමබර හා ගැඹුරු, විශ්ලේෂණාත්මක දැනුම බෙදාහැරීම තුළින් ආර්ථික සංවර්ධනය පිළිබඳ පාඨක අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ සිය ආරම්භක මෙහෙවර වෙනුවෙන් කැපවිය. පරිපූර්ණ හා සවිස්තරාත්මක එකතුවක් වන ආර්ථික විමසුම් කලාපයන්, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, පර්යේෂණ සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වැදගත් මූලාශ්‍රයකි.
වර්තමානයේ දේශීය හා ගෝලීය ආර්ථිකයන් ගැඹුරු වෙනස්කම් වලට බඳුන් වෙමින් පවතින වටපිටාවක නව ඉදිරි දැක්මකින් යුතුව ආර්ථික විමසුම සඟරාව නැවත එළිදැක්වීම කාලීන අවශ්‍යතාවයක් ඉටුකරන්නකි. මෙහිදි මුද්‍රිත සහ ඩිජිටල් යන ආකෘති දෙකෙන්ම සඟරාව පරිශිලනය කිරීමට හැකිවීම විශේෂත්වයක් වන අතර, ඩිජිටල් ප්‍රකාශන ආකෘතිය හඳුන්වා දීමෙන් මෙහි පාඨක ප්‍රවේශය තවත් පුළුල් වනු ඇත. මෙම නව ඩිජිටල් ප්‍රවේශය තුළින් පැරණි කලාප පරිශිලනය කිරීමේ අවස්ථාවද සැලසෙනු ඇත.
මෙම නව සඟරාවේ තේමාව “Unlocking SME Potential through Digital Transformation,” (ඩිජිටල් පරිවර්තනය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැකියාවන් විවර කිරීම) වන අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ පරිණාමය වෙමින් පවතින ඩිජිටල් ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කාර්යභාරය සාකච්ඡා කෙරේ. මෙහි පිටු සංඛ්‍යාව 52කි.
මහජන බැංකුවේ ආයතනික සමාජ මෙහෙවරක් ලෙස අර්ධ වාර්ෂිකව ප්‍රකාශනයට පත්කෙරෙන ආර්ථික විමසුම සඟරාව, ක්‍රමෝපාය සැලසුම්, කාර්ය සාධන කළමනාකරණ සහ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කරයි. මහජන බැංකුවේ www.peoplesbank.lk නිල වෙබ් අඩවිය හරහා මෙම සඟරාවට නොමිලේ පරිශිලනය කළ හැක.
2025 අගෝස්‍තු 04, ප.ව. 1:37
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42