hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:00



කොළඹ ඉන්නවා වගේ නෙමෙයි මේනකගේ පුරුදු ඇඳේ මේනකට හොඳටම නින්ද ගියා..කාමරේ ජනේලෙන් හොඳටම ඉර අව්ව වැටිලා තිබුණා..

“පුතා තාම නිදිද,දැන් කීයද වෙලාව නැගිටින්න”අම්මා දොරට තට්ටුවක් දාන ගමන් මේනකට කතාකලේ තේ එකකුත් ගෙනත් තියලා…

“දැන් කොළඹ නැවතිලා රස්සාව කරද්දී සල්ලි ඉතුරුකරන්න එහෙම පුලුවන්ද?” උදේ තේ එක අරගෙන ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක ඉඳගත්ත මේනක දිහා බලාගෙන අම්ම එහෙම ඇහුවා..

“එහෙම ලොකු ගානක් නෑ ඉතිං.දන්නවනේ අම්මෙ කොච්චර හම්බ කරත් බෝඩිං වලට ගෙවාගෙන තුන්වේලම කඩෙන් කාලා එනකොට ලොකු ගානක් ඉතුරුකරන්න අමාරුයි”මේනක කාලෙකට පස්සේ අම්ම හදල දුන්න තේ එකේ උගුරක් බොන ගමන් කිව්වා..

“ඒක තමා මම හැමතිස්සෙම කියන්නෙ ඔය කොළඹ රස්සාව අතෑරලා දාලා මෙන්න මේ ලඟපාත ගෙදර ඉඳන් යන්න පුලුවන් ජොබ් එකක් හොයාගන්න කියලා.මොකද මට උයලා දෙන්න බැරිකමක් නෑනෙ.අනික මහන්සියකුත් නෑනෙ.නිවී සැනසිල්ලෙ ගෙදර ඉඳන් රස්සාවට යන්න පුලුවන්.මොකද මේ පැතිවල රස්සා නැතුව නෙමෙයිනේ.”අම්මා මේනකට යෝජනා කළා
අම්මා කියන කතාව කොච්චර සාධාරණ වුනත් මේනක නම් හිතුවේ ඊට හාත්පසින්ම වෙනස් විදියකට…

“අවුරුදු 13ක්ම ඉස්කෝලේ ගියෙත් මෙහෙ.ජීවිත කාලෙම ගමට වෙලා ඉන්න බෑනෙ අම්මෙ.මං කැමති නෑ ඒ වගේ ඒකාකාරී ජීවිත වලට.මට ඕනා හැමදෙයක්ම අත්දකින්න.අපි හිතනවට වඩා ගොඩාක් දේවල් මේ ලෝකේ තියනවා.ගමේම ඉගෙනගෙන ගමේම රස්සා කරලා මිනිස්සු අඳුනගන්නවත් ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්නවත් බෑ.ඒ නිසා මං කැමතියි කොළඹ රස්සාවට.”මේනක අම්මා දෙස බලමින් හුස්මක් හෙලමින් කිව්වේ එක පාරටම අම්මගේ හිත රිද්දන්න බැරි නිසා…

“ළමයිව කැම්පස් යවලා උගන්නපුවම ඔහොම තමා.උන්ට ඊට පස්සෙ ගම අමතක⁣ වෙනවා ගියපු ඉස්කෝල අමතක වෙනවා.පස්සෙ උන් රටත් දාලා යනවා. දැන් පේනවනේ කොච්චර මනුස්සයෝ රට අතෑරලා යනවද කියලා. උබලත් තව ටික දවසකින් ⁣කොලඹ ඉඳලා හරියන්නෑ අම්මෙ,මේ ලොකේ තව ගොඩාක් දේවල් තියනවා කියලා යයි රට.”අම්මා ටිකක් කේන්ති ගිය පාට පෙන්නලා මේනකට එහෙම කිව්වා..

“පිස්සුද අම්මෙ..එහෙම වුවමනාවක් තියනවානම් මං මෙච්චර කල් ඉන්නෙ නෑනෙ.මට මෙ රස්සාව කරන් කාලා බීලා ඉන්න තිබ්බා නම් ඇති.”මේනක අම්මට එහෙම කියනවත් එක්කම මේනකගේ ෆෝන් එක රින්ස් යන්න ගත්තා..

තේ කෝප්පය අම්මට දීල මේනක කාමරේට ගියා…

මේනක කෝල් එක අන්සවර් කරාට පස්සෙ “ගුඩ් මෝනිං..ඔයාට ගෙදර ගියාට පස්සෙ මට ගුඩ් මෝනිං කියලා මැසේජ් එකකවත් දාන්න මතක නෑ නේද?” හංසි කේන්තියෙන් වගේ ඇහුවෙ එහෙම..

“උදේම නැගිටලා අම්මා එක්ක කතා කරකර හිටියා බබා.ඔයා තවම නිදි ඇති කියලා හිතලයි කතා කරේ නැත්තෙ”මේනක හරිම ආදරෙන් උත්තර දුන්නා…

“ම්ම්.. කමක් නෑ ඔයා වැඩටික කරලා ෆ්‍රී වුනාම කෝල් එකක් දෙන්නකෝ.අද මං තමා ගෙදර උයන්නෙ.ගෙදර ඉනන දවසටවත් අම්මට කරදර කරන එක හරි නෑනෙ ⁣අයියේ. එයා පව්නේ.ඒ නිසා අද මායි නංගියි උයන්න නියලා බැලුවේ”හංසි කිව්වා…

“ම්ම්.. ඒක හොඳයි මං එහෙනම් පස්සෙ ගන්නම්කො”මේනක එහෙම කියල ෆෝන් එක තිබ්බා…

හංසිට ඉන්නෙ නිවුන් සහෝදරියක්.එයත් හංසි වගේම ලස්සනයි.හැබැයි තවම මේනක හංසිගේ නංගිව හැබැහින් දැකලාවත් කතාබහ කරලාවත් නෑ. මොකද හංසි කැමති වුනේ නෑ මේ ගැන අඩුම තරමේ තමන්ගෙ නංගීටවත් කියන්න…

මේනක වෙනදා ගෙදර ආපුහම ෆෝන් එක ගැන එච්චර තැකීමක් නෑ එත් මේ සැරේ මේනක හිටියේ ෆෝන් එක ගැන හරිම අවදානයෙන්…

ඒ ගැන අම්මටත් තේරුම් ගියා…

එත් අම්මා මේනකගෙන් මේ ගැන අහන්න එච්චර හදිස්සි උනේ නෑ…ගෙදර ඉන්න කාලය ඉක්මනින්ම ගෙවිල ගියා..

ගෙදර ගිහින් නිකම්ම එන්න එපා කියල හංසි මේනකට කිව්වේ මේනකගේ අම්මගේ කෑමක රස බලන්න වෙන්න ඇති..

මේනක කාට ගෙනියන්න කියල අම්මගෙන් කෑම ඉල්ලන්නද? මේනක හිටියේ දෙගිඩියාවක…

ඇස් තවම ආදරෙන්….

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි නවවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දසවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: