hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 මැයි 30, ප.ව. 4:35



බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරුවෙකු අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා.

ඝාතනයට ලක්වූ දැරිය ගේ මරණ පරීක්ෂණ වාර්තාව අනුව අයට ලිංගික අපහරනයක් සිදුවී නොමැති බවට තහවුරු වී ඇති බවද වාර්තා වනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඝාතනයට ලක්වූ දැරියගේ පවුලේ ඥාතියෙකු ද වන අතර ඔහුගේ නිවස මෙම දැරියගේ නිවස ආසන්නයේම පිහිටා ඇති බව සදහන්. 

අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මෙම දැරිය ඔසවා ගත් සැකකරු ඇය රැගෙන කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඉන් අනතුරුව දැරියට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සම්බන්ධයෙන් තමන් බිය වූ බවත් පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැරිය ඝාතනය කරනු ලැබුවේ ගෙල මිරිකා ද, නැතහොත් දියේ ගිල්වා ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.

පසුගිය 27 වන දා බණ්ඩාරගම – අටළුගම ෆාතිමා ආයිෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.