hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 31, ප.ව. 4:47



“මගේ ජීවිතේ ගැන මම හිතුවේ නැහැ. මට බස් එකෙන් පනින්නවත් හිතුනේ නැහැ. මට හිතුනේ බස් එකේ ඉන්න ජීවිත බේරගන්න එක ගැන විතරමයි.” ඊයේ (30) දහවල් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ‍බෙරගල හපුතලේ දැඩි බෑවුම් ප්‍රදේශයේ සිදුවෙන්නට ගිය මහා විපතක් බේරාගැනීමට හැකිවූ බස් රථයේ රියදුරු ප්‍රියන්ත කුමාර මහතා එසේ පවසනවා.

ඊයේ (30) දහවල් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙනු එන්ඩී 9935 අංක දරණ බස් රථය හපුතලේ බෙරගල විහාරගොඩ ප්‍රදේශයේදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පසු රියදුරු විසින් බස් රථය පාලනය කරගෙන මාර්ගයේ දකුණු පැත්තේ වේල්ලට හප්පා බස් රථය නවතාගෙන තිබුණා.

එම බිහිසුණු සිද්ධිය විස්තර කරන ප්‍රියන්ත කුමාර මහතා,

“බදුල්ලෙන් බස් රථය ගමන් ආරම්භ කලේ උදේ 9.25ටයි. බණ්ඩාරවෙලින් 10.25ට පිටත්වෙලා දියතලාව හපුතලේ මාර්ගය ඔස්සේ ප්‍රපාතය සහිත ප්‍රදේශයෙන් බස් රථය ධාවනය වෙද්දී එක් වරම බස් එකේ බ්රේක් නොමැති බව දැනුනා. මා ලගම සිටි කොන්දොස්තර මහතාටක් ඒ බව කිවුවා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද කරන්නේ කියලා. මට දකුණු පැත්තෙන් එක දිගටම වාහන එන්න ගත්තා. වම් පැත්තේ දැඩි ප්‍රපාතය. මම බස් රථයේ ලයිට් ගහලා දකුණු පැත්තට දාගන්න උත්සහ කලා. ඒ වන විටත් බස් එක මීටර් 50ක් විතර ඉස්සරහට ධාවනය වෙනවා. මම කිසිම මොහොතක බස් එකේ මගීන්ට මේ බව දැනගන්න දුන්නේ නැහැ.

මට බස් එකෙන් පනින්න අවස්ථාව තිබුනත් මම ඒ දේ කලේ නැහැ. මගේ සීට් එක ලගම පොඩි දරුවන් කිහිප දෙනෙකුත් ඉන්නවා දැක්කා. මට මගේ ජීවිතේ ගැන හිතුනේ නැහැ. බස් එකේ ඉන්න ජීවිත ටික බේරගන්න එක ගැන විතරමයි හිතුවේ. ඒ මොහොත වන විට බස් එකේ හැට දෙනෙක් පමණ හිටියා. වැඩි හරියක් හිටියේ දරුවන්.

කොහොම හරි අන්තිමේ බස් එක මාර්ගයේ දකුණු පැත්තට දාගත්තා. මම කෑ ගහලා කිවුවා හයියෙන් අල්ලගන්න කියලා. ඒත් එක්කම බස් එකේ ඉස්සරහා රෝදය කාණුවට වැටුණා. ඒ වැටිලත් ටික දුරක් ගොස් තමයි වේල්ලේ හැප්පිලා බස් එක නතර වුණේ. මගේ කකුල සුක්කානමට හිරවෙලා තිබුණා. කිහිප දෙනෙක් ඇවිත් මාව ඇදලා ගත්තා. මගේ කකුල පොඩ්ඩක් තුවාල වුණා. ඒ ඇරෙන්න බස් එකේ හිටිය කිසිම කෙනෙකුට හීරිමක්වත් වුණේ නැහැ. ඒ වගේම බස් එකටත් හානි සිදුවුනේ නැහැ. මගීන් සමග බස් එකත් බේරගන්න හැකිවුණා.

බස් එක වම් පැත්තට ගියා නම් හපුතලේ බෙරගල ප්‍රපාතයට පෙරලිලා ජීවිත සියල්ල අහිමි වෙන්න තිබුණා. මගේ රියදුරු රස්සාවට අවුරුදු 12ක් වෙනවා. කොළඹ බදුල්ල දුවන්න පටන් අරන් අවුරුදු 7ක්. මෙහෙම දෙයක් වුනේ පලමු වතාවටයි. සිද්ධිය වෙන වෙලාවේ නම් හිතට මහා බයක් දැනුණා. ජීවිත හැටක් මට බේරගන්න පුලුවන් වුණා කියන හැගීමත් එක්ක අද මට පුදුම සතුටක් තියෙන්නේ.”