hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 12:15



අද තරගය සදහා සිය කණ්ඩායම ඉතා හොඳ සූදානමක සහ යහපත් මානසික තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවති මාධ්‍ය හමුවක දී ඉන්දීය මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සපයමින්.

මේ තරගය ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක වන්නේ, යම් හෙයකින් මේ තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය වුව හොත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථා අහිමි වීම හේතුවෙන්.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වන විරාත් කෝලි මේ වන විට ලකුණු අතරට පැමිණ සිටීමත් ඉතා වැදගත් තීරණාත්මක සාධකයක් බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සියලු කරුණු සලකා බලා හෙට තරගයට සූදානම් වී ඇති බවත් තරග සැලැස්ම තරග දිනය අනුව වෙනස් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ පිළිබඳ අදහස් දැක්වූ දසුන් ශානක සඳහන් කළේ, පිතිකරුවන් සියල්ල ලකුණු අතරට පැමිණ සිටීම සහ ඔවුන් අතරේ යම් කිසි විශ්වාසයක් ගොඩ ගොඩ නැඟී තිබීම යහපත් කාරණයක් බව යි.

අද තරගයේ දී පිතිකරුවන් හට ඉතා වැඩි වගකීම් ප්‍රමාණයක් පැවරෙන බවත් ඔහු අවධාරණය කළා.

මේ අතර, දිගින් දිගට ම අසාර්ථක වන චරිත් අසලංක වෙනුවට වෙන ක්‍රීඩකයෙකු ආදේශ කරන්නේ දැ යි යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ, බොහෝ විට හෙට ඒ අවස්ථාව ධනංජය ද සිල්වා හට ලැබීමට ඇති ඉඩකඩ වැඩි බව යි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දසුන් ශානක කියා සිටියේ, අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතු ව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට යි.

එමෙන්ම පිටියෙන් එපිට සිදු කෙරෙන අදහස් දැක්වීම් සහ කතාබහ සම්බන්ධයෙන් තමන් වැඩි උනන්දුවක් නැති බවත් ලොකු කතා සිදු නො කර ක්‍රීඩා පිටියේ උපරිම දේ සිදු කිරීම හරහා ජයග්‍රහණ කණ්ඩායමට ළඟා කරගත හැකි බවත් ඔහු සඳහන් කළා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද (06) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: