hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:01



කොළඹ අල්ටෙයාර් මහල් ගොඩනැඟිල්ලේ 67 වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගත් සිසුන් දෙදෙනාගේ මරණවලින් මාස හතරක් ගතවන්නටද මත්තෙන් ඔවුන්ගේ සමීප මිතුරියක් බව කියන තවත් සිසුවියක් කොළඹ නෙළුම් කුලුනෙන් 29 වැනි මහලෙන් පැන සියදිවි හානිකර ගත්තාය. 

ඇගේ මරණය රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරලීමට සමත් වුවද ඇය මෙලෙස දිවි හානිකර ගැනීමට හේතු වූ කරුණු කාරණා අනාවරණය කරගැනීමට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මරදාන පොලිසියට හෝ ඇගේ මවුපියන්ට තවමත් හැකි වී නැත.

මෙහි සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්ද? පාසල් සිසු සිසුවියන් උස් ගොඩනැඟිලිවලින් පැන මෙලෙස දිවි නසා ගන්නේ මන්ද? මෙම දිවිනසා ගැනීම් පිටුපස දරුවන්ට කියාගත නොහැකි වූ අතිශය පෞද්ගලික ගැටලුවක් තිබේද නැතහොත් ජාත්‍යන්තර පාසල් තුළ පවතින ප්‍රකට නවකවදය මීට හේතුවීද යන්න මෙතෙක් පැහැදිලි නැත.

කෙසේ වෙතත් නෙළුම් කුලුනේ 29 වැනි මහලේ නැරඹුම් පීඨිකාවෙන් පහළට පැන දිවි නසාගත් 15 හැවිරිදි රද්‍යා ගුණසේකර සිසුවියගේ මරණයෙන් පසු ඇගේ මරණයට හේතු වූ කරුණු කාරණා සොයන්නටත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමටත් නව රජයේද දැඩි අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

රද්‍යා කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික පවුලක දියණියක් වන අතර ඇය කොළඹ 7 ජාත්‍යන්තර පාසලක 11 පන්තියේ ඉගෙනුම ලැබුවාය. මෙලෙස අධ්‍යාපනය ලැබූ ඇය ඉකුත් 7 වැනිදා පාසල නිම වී තනිවම කොළඹ නෙළුම් කුලුනට පැමිණියාය. නෙළුම් කුලුන නැරැඹීමට එන පිරිස අතරට මැදි වූ ඇය ප්‍රවේශපත්‍රයක්ද මිලට ගෙන ඊට ඇතුළු වූවාය.

එහෙත් කාගේත් අවධානය ඇය වෙත යොමු වූයේ නැත. නෙළුම් කුලුනෙන් ආරක්ෂක කටයුතු භාර නිලධාරීන්ද සාමාන්‍ය පරිදි එම මහල්වල සේවයේ නිරතව සිටියද ඔවුන්ද රද්‍යා ගැන කිසිදු අවධානයක් යොමුකර නැති බව පැහැදිලිය.

සෙසු පිරිස සමඟ 29 වැනි මහලේ නැරඹුම් පීඨිකාව වෙත ගිය ඇය හුදෙකලා වූ ස්ථානයක් තෝරා ගැනීමට ඒ මේ ඇවිද්දාය. ආරක්ෂකයන් හා නරඹන්නන් එම මහලේ රැඳී සිටින ස්ථාන අතරින් හුදෙකලා වූ ස්ථානයක් තෝරාගත් ඇය සිය පොත් බෑගය පසෙක තබා පැලඳ සිටි සපත්තු ජෝඩුවද ගලවා දැම්මාය.

උපැස් යුවළද පැත්තක තැබුවාය. ඒ මේ අත බලා නැරඹුම් මැදිරි බැම්මට නැඟ ගත් ඇය ක්‍ෂණිකව එතැනින් බිමට පැන්නාය. ඒ ඇසිපිය නඟන වේගයෙනි. 29 වැනි මහලෙන් බිමට පාවි ආ ඇගේ සිරුර තුන්වැනි මහලේ කොන්ක්‍රීට් වහලය මතට වැටෙන්නේ ඉන් අනතුරුවය. එම මාරක පිම්ම ඇගේ දිවි තොර කරන්නට සමත්විය.

ඇය එලෙස බිමට ඇදවැටීමත් සමඟ නෙළුම් කුලුනේ ආරක්ෂකයන් කලබල විය. නෙළුම් කුලුන නැරැඹීමට පැමිණි පිරිස්ද මින් තැති ගත්හ. සිදුව ඇත්තේ කුමක්දැයි කාටත් වැටහුණද ඊට හේතු වූ සාධක කිසිවකු දැන සිටියේ නැත. සිද්ධිය මරදාන පොලිසියට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.

නිලධාරීහු 3 වැනි මහලට පැමිණ විමර්ශන ආරම්භ කළහ. මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත තිබූ ඇගේ සිරුර තැළී පොඩි වී තිබිණි. එහෙත් ඇය කාගේ කවුද යන්න හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. නිලධාරීන් දිගින් දිගටම විමර්ශන සිදුකරද්දී අනාවරණය වූයේ ඇය 29 මහලේ නැරැඹුම් පීඨිකාවෙන් බිමට පැන ඇති බවය.

එම මහල පරීක්‍ෂා කිරීමේදී ඇගේ පොත් බෑගයත් පාවහන් යුගලත් උපැස් දෙකක් නිලධාරීන්ට හමු විය. නිලධාරීහු පාසල් බෑගය පරික්‍ෂා කළහ. ඇගේ අනන්‍යතාව හෙළිවන්නේ එතැනදීය. බෑගය තුළ ඇගේ පාසල් නිල ඇඳුම විය. තවත් පරික්ෂා කරද්දී ඇගේ පොත්පත් අතර ඇය විභාගයට මුහුණ දුන් ලිපිගොනු තිබිණි.

එහි කෙළවරක ඇගේ නම රද්‍යා ගුණසේකර සේ සටහන් විය. පොත් බෑගයේ තිබූ විසන්ධි වූ ඇගේ ජංගම දුරකථනය ඉදිරි විමර්ශනයට මහඟු පිටිවහලක් විය. ඒ ඔස්සේ ඇගේ තොරතුරු හෙළිකර ගැනීමට නිලධාරීන්ට හැකි විය.

ඇගේ මවුපියන්ට මේ බව දැනුම් දෙන්නට පොලිසිය පියවර ගත්තේ ජංගම දුරකථනය හරහාය. ඇගේ පාසල් නිලඇඳුම පොත් බෑගයේ තිබීම හේතුවෙන් නිලධාරීන්ටත් පෙනී ගියේ ඇය පාසල නිමවා සිය නිල ඇඳුම පොත් බෑගයට දමා වෙනත් ඇඳුමකින් සැරසී නෙළුම් කුලුනට පැමිණ මෙසේ දිවි තොර කරගන්නට ඇති බවය.

15 හැවිරිදි රද්‍යා සිසුවිය දිවිනසා ගත්තේද නැතහොත් ඇය කිසිවකු විසින් පහළට තල්ලු කළේද එසේත් නැත්නම් ඇය පහළට ඇදවැටුණේද යන්න තහවුරු කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වුණු අතර ඒ සඳහා නෙළුම් කුලුනේ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගැනීමට පොලිසියට මෙන්ම එහි ආරක්ෂක නිලධාරීන්ටද හැකි විය.

එම දර්ශනවලින් ඇය 29 වැනි මහලේ කලබලයෙන් සැරිසරන අයුරු පැහැදිලිව පෙනී ගිය අතර දිගින් දිගටම කළ විමර්ශනයේදී තහවුරු වූයේ ඇය විසින්ම දිවිතොර කරගෙන ඇති බවය.

ඇය මෙලෙස දිවි හානිකර ගන්නට හේතු වූ කරුණු කාරණා මඳක් හෝ හෙළිවන්නේ ඇගේ පියා විසින් පොලිසියට දුන් කටඋත්තරයත් සමඟය. එම ප්‍රකාශයෙන් පසු පොලිසිය අනාවරණය කරගන්නේ මීට මාස තුනකට පෙර කොළඹ අල්ටෙයාර් මහල් සංකීර්ණයේ 67 වැනි මහලෙන් බිමට පැන දිවි නසාගත් පාසල් සිසුවා සහ සිසුවියද මැයගේ සමීපතම මිතුරන් බවය.

ඔවුන් දෙදෙනාගේ මරණත් රද්‍යාගේ මරණයත් බෙහෙවින් එක සමානව සිදුව ඇති බව පොලිසියට පෙනී ගිය අතර ඊට හේතු වූ කරුණු කාරණා ඇගේ පියාගෙන් විමසීමට පොලිසිය අමතක කළේ නැත.

රද්‍යා ගුණසේකරගේ අකල් මරණයට හේතු එකිනෙක දිගහැරෙන්නේ ඇගේ පියා වූ මංගල ගුණසේකර කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ දුන් ප්‍රකාශයත් සමඟය. ඔහු රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් කරගෙන යන්නෙකි.

“මේ නැතිවෙලා ඉන්නේ මගේ දෙවැනි දුව. මෙයාට අක්කා කෙනෙකුත් ඉන්නවා. එයා ඉන්නේ බෙලරූස්වල. මමයි මගේ බිරියයි තමයි දුවගේ හැමදේම හොයලා බලන්නේ.මගේ දුව මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න හිටියේ. ඒකට එයා ඉගෙන ගත්තා. පාඩම් කළා. එයාව ඉස්කෝලේ ගෙනියන්නෙත් ඉස්කෝලේ ඉවර වෙලා එක්කගෙන එන්නෙත් මම, නැත්නම් මගේ බිරිය..දුව හිටපු ගමන් ඉස්කෝලේ යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් ඉස්කෝලෙ ගියේ නැහැ. මහන්සියි කියලා තමයි ඇහුවම කියන්නේ.එදා හත් වැනිදා උදේ මම එයාව ඉස්කෝලෙට ගිහින් ඇරලුවා. එදා එයා මට කිව්වා අමතර පන්තියකුත් තියෙනවා කියලා”

“දුවට ෆෝන් එකක් තියෙනවා. එදා මට එයා මැසේජ් එකක් දාලා තිබුණා මම දවල් 2.00ට විතර ඉස්කෝලේ ළඟට ගිහින් කෑම එකකුත් දුන්නා. කෑම එක දුවට දීලා මම ගෙදර ගියා. සවස 4.55 ට විතර මම ඉස්කෝලේ ළඟට ගිහින් දුවගේ ෆෝන් එකට කෝල් ගත්තා. ඒත් එයා ආන්සර් කළේ නැහැ. ෆෝන් එක ආන්සර් කළේ පොලිසියේ මහත්තයෙක්. එයා කිව්වා දුවට කරදරයක් ඉක්මනට නෙළුම් කුලුනට එන්න කියලා. එතැනට ගියාට පස්සේ තමයි මම විස්තරේ දැනගත්තේ.දුව හොඳට හිටියා. ඒත් ආතතිය තිබුණා ගිය අවුරුද්දේ නොවැම්බරයේ ඉඳලා අගෝස්තු වෙනකල් එයා ආතතියට බෙහෙත් බිව්වා.පසුගිය ජූලි මාසයේදී කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් බිල්ඩින් එකෙන් පැනල මැරුණු ළමයි දෙන්නත් දුවගේ පන්තියේ. මෙයාගේ හොඳම යාළුවෝ.එදා ඉඳලා දුව සෑහෙන දුකෙන් හිටියේ. එයා හිටපු ගමන් ගොඩාක් කලබල වෙනවා.

ආයෙත් එකපාරටම නිහඬ වෙනවා.මගේ දුවගේ ඉස්කෝලේ නවකවදය ලොකුවට තියෙනවා. මේ ගැන ළමයින්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ නැහැ. ඒක ගැන මම හරියට දන්නේ නැහැ.එයා නෙළුම් කුලුනට කොහොම ගියාද මම දන්නේ නැහැ. එයාගේ යාළුවන්ටත් බොරු කියලා තමයි ගිහින් තියෙන්නේ.අපි එයාගේ අතට සල්ලි දෙන්නේ නෑ. එයාට බැංකු ගිණුමක් තිබුණත් එයාට අවුරුදු 18ක් යනකම් ඒකේ සල්ලි ගන්න බැහැ. එයාට ලොකුවට සල්ලි අවශ්‍යතාවකුත් නැහැ. අමතර පන්තිවලට ගියත් අපිම තමයි එක්කගෙන යන්නේ.දුවගේ බෑග් එකේ රුපියල් 1,580ක් තිබුණා, ෆෝන් එකයි, බීම බෝතලයයි, ඉස්කෝලේ යුනිෆෝම් එකයි පොලිසිය භාරයේ තිබුණා.”

ඔහු මරණ පරීක්ෂණය හමුවේ කියන්නට විය. මේ අනුව පොලිසියේ සැකය වූයේ රද්‍යාගේ මිතුරු සිසු සිසුවියන් දෙදෙනා දිවි හානිකර ගැනීම ඇයට මානසිකව දැඩි වේදනාවක් ගෙන දී ඇති බවය. ඇය දිවි තොර කරගන්නට එය හේතුවක් වූවාදැයි සැක සහිතය. එලෙස සැක කරනුයේ එම සිසුවා හා සිසුවිය දිවිනසා ගන්නට පෙර රද්‍යා හමුවී අවස්ථා කිහිපයකදීම වරින් වර සිප වැලඳගෙන ඇති බවට තොරතුරු හෙළිවීම නිසාය.

කෙසේ වෙතත් පියාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර මේ නිසා එම පාසල්වල ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ ක්‍රමවේද, විනය හා ගාස්තු අයකිරීම් සහ විෂය නිර්දේශ ආවරණය නොකිරීම වැනි ගැටලු රැසක් ඇතිව තිබෙන අතර මෙවන් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වරින් වර පැමිණිලි ලැබී තිබේ. එහෙත් එම ගැටලු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශයට නීතිමය බලයක් නැති බව කියැවේ. අමාත්‍යාංශයට කළ හැක්කේ සිද්ධියක් සම්බන්ධයෙන් විමසීමක් කිරීමට බව පැවැසේ.

සමාගම් පනත යටතේ ලියාපදිංචි මෙම ජාත්‍යන්තර පාසල් 395ක් පවතින අතර ඉන් 195ක්ම බස්නාහිර පළාතේ ස්ථාපිත වේ.

කෙසේ වෙතත් නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසාගත් රද්‍යා ගුණසේකරගේ මරණයෙන් පසු බලධාරීන්ගේ දෙනෙත් විවර වී ඇති අතර එම පාසල් නියාමනය කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි වුවහොත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම විනයද සැලකිය යුතු ඉහළ මට්ටමකට ගත හැකි බව පැවැසේ.

මේ අතර රද්‍යා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය එම ජාත්‍යන්තර පාසලටද දැනුම් දී තිබේ. එම වාර්තාව සම්බන්ධයෙන් සොයා බැලීමක්ද සිදු කිරීමට නියමිත බව කියයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 10 වැනිදා එම ජාත්‍යන්තර පාසලට ගොස් ඇත.

පාසලේ පවතින වැඩපිළිවෙළ, සිටින පුහුණු ගුරුවරුන් පිළිබඳව, දරුවන්ගේ විෂයයන් බාහිර ක්‍රියාකාරකම් සහ විනය සම්බන්ධයෙන්ද එම නිලධාරීන් සොයා බලා ඇත.

නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනිය සමඟ සාකච්ඡා කර තිබේ. එහිදී විදුහල්පතිනිය නිලධාරීන්ට පවසා ඇත්තේ සිදුවීමට දින දෙකකට පෙර සිසුවියගේ මව පාසලට පැමිණ දරුවාගේ හැසිරීමේ වෙනසක් ගැන පන්තියේ ගුරුවරුන් සමඟ කතාබස් කර ඇති බවය.

පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මවුපියන් කැඳවා සිය දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්නැයි ඔවුනට දැනුම්දෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් විදුහල්පතිනියගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

සියදිවි හානි කරගත් රද්‍යා තිගැස්සවනසුලු පණිවුඩයක් සමාජයට ලබාදී ඇති බව පෙනුනද සිය යොවුන් දියණිය පෙළුණු මානසික ව්‍යසනය ඇගේ මවුපියන්ට නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඇගේ අකල් මරණයෙන් පැහැදිලි වනු ඇත.

(උපුටා ගැනීමකි)

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: