hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:01



“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.”

“රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.”

“ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්.”

මේ සියල්ල විවිධ ආයතනවල රැකියාවේ යෙදෙන, රැකියා අපේක්ෂිත සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාවන්ට ‘ඉහළ පුටුවල’ සිටින සමහර පුද්ගලයන්ගෙන් ලැබුණු කෙටි පණිවිඩ කීපයකි.

උසස් අධ්‍යාපනය හෝ රැකියාවක් සඳහා නිර්දේශ කර ලිපියක් ලබා ගැනීමේ සිට ආයතනයක් තුළ උසස් වීමක්, වැටුප් වැඩි වීමක් දක්වා ලිංගික අල්ලස් ලබා දීමට විවිධ ප්‍රධානීන්ගෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් කාන්තාවන් කීපදෙනෙකු සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළහ.

‘තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස්..’

අප ඇය දුල්මිණී ලෙසින් හඳුන්වමු. ඉහළ අධ්‍යාපනයක් ලැබූ දුල්මිණි කොළඹ පිහිටි කාර්යාලයක රැකියාවකට බැඳුණේ ආධුනික පුහුණුවීම් සඳහාය. සය මසක පුහුණු කාලය අවසන් වූ පසු එම රැකියාව ස්ථීර කරගැනීම පිණිස ඇයට කාර්යාල ප්‍රධානියාගෙන් නිර්දේශ ලිපියක් අවශ්‍යය.

“පුහුණු කාලය ඉවර වෙන්න ලං වෙනකොට ලියුම ගැන ඔෆිස් එකේ මගේ බොස්ට මතක් කළා. ඒක වෙලාවට දෙන්නම් කියලා ඒ මොහොතේ කිව්වා. හැබැයි දවස් දෙකකට පස්සේ මට එක දිගට වැඩ වගයක් දීලා රෑ වෙනකම් ඔෆිස් එකේ තියාගත්තා.

“ගැහැණු සම්බන්ධයෙන් සර්ගේ ක්‍රියාකලාපය ගැන නම් මට සෑහෙන දේවල් ඇහිලා තිබුණා. ඒත් මට ඒ වෙනකම් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. එදා`රෑ ඔෆිස් එකේ හැමෝම යනකම් මට වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඒක ඉවර කරන්න මට බල කරපු නිසා මැදදී දාලා යන්න බැරි වුණා.

“ඔක්කොම යනකම් ඉඳලා සර් මට කතා කළා. වැඩ ඉවර වෙලා ඔෆිස් පාටියකට යන්න තියෙනවා කියලා ගෙදරට කියන්න, අද රෑ එයා එක්ක ගත කරන්න කියලා සර් කිව්වා. එහෙම කළොත් මගේ ලියුම හොඳටම ලියලා දෙන්නම් කිව්වා.

“මම දුප්පත් පවුලක කොළඹින් පිට ජීවත් වුණ කෙනෙක්. මට මේ වගේ තැනක ස්ථීර රස්සාවක් ලේසියෙන් ගන්න බැහැ. සර් හැදුවේ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න. මම එවෙලේම ඔෆිස් එකෙන් එළියට දුවගෙන ගියා. ලැජ්ජාව නිසා මේ ගැන පොලිසියටවත්, ගෙදරටවත් කිව්වේ නැහැ.

“නමුත් එදා ඇති වුණ අප්‍රසන්න හැඟීම, අර මනුස්සයාගේ තදින් වැටුණු හුස්ම සහ කාමුක ඇස් දැකලා ඇති වුණ බය මගේ ඔළුවට තදින් කා වැදුනා. මට අපේ වගේ ජීවිත ගැන ඇති වෙලා තියෙන්නේ කලකිරීමක්,” දුල්මිණී තවදුරටත් පැවසුවාය.

‘ප්‍රසිද්ධ රහසක්’

ලිංගික අල්ලස් ඉල්ලීම ‘ප්‍රසිද්ධ රහසක්’ වන නමුත්, එවැනි සිදුවීමකට පසු කාන්තාවන් දැඩි මානසික පීඩනයකට ලක් වන බව මෙම කාන්තාවන් සියලුදෙනා පැවසූ පොදු කතාවයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් කොපමණ ප්‍රමාණයකට මෙවැනි බලපෑම් එල්ල වන්නේ ද ගැන නිශ්චිත තොරතුරු නොමැත. කෙසේනමුත්, සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානය (CEJ) නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිසා අසරණ වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් කාන්තාවන්ට එල්ලවන ලිංගික අල්ලස් බලපෑම් ගැන 2020 මැයි මස අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය වසරේ දී වාර්තා කීපයක් නිකුත් කර තිබිණි.

කෙසේවෙතත්, කොවිඩ් 19 වසංගතය නිසා මේ සියල්ල තාවකාලිකව ඇන හිට ඇත.

“මෙවැනි සිද්ධි ගැන තොරතුරු එකතු කිරීම අසීරු කටයුත්තක් වී තිබෙනවා. මෙයින් ලැබෙන අපකීර්තිය හා කම්පනය නිසා කාන්තාවන් මේ දේවල් හෙළි කරන්නේ කරන්නේ ඉතා අපහසුවෙන්. විවිධ පොදු සේවාවන් ලබා ගැනීමේ දී ලිංගික අල්ලස් දීමට සිදු වූ බව පිළිගැනීම දුෂ්කර දෙයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව ද මෙයයි,” සමානාත්මතාව සහ සාධාරණත්වය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ ශ්‍යාමලා ගෝමස් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටළුව සම්බන්ධයෙන් 2020 මැයි මස නිකුත් කළ වාර්තාවකට කරැණු දක්වමින් පවසා තිබේ.

ලිංගික අල්ලස් ඉල්ලීම් බොහෝ විට සිදු කරන්නේ බලතල සහිත පුද්ගලයන්ය. එවැනි ඉල්ලීමකට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග අදාළ පුද්ගලයන් ‘පළි ගැනීමේ’ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව සමහර කාන්තාවෝ පැවසූහ.

අපි ඇය නවෝද්‍යා නමින් හඳුන්වමු. රැකියාවේ ගැටළුවලට මුහුණ දීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය නිර්දේශ කිසිවක් ඇයට නොලැබුණේ ලිංගික අල්ලසක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

“රජයේ ආයතනයක රැකියාව කරන මට එහි ප්‍රධානියෙක් අහගෙන ඉන්න බැරි තරමේ ලිංගික දේවල් දිගින් දිගටම කියන්න ගත්තා. ඊට පස්සේ එයත් එක්ක ලිංගිකව එක්වෙන්න කියලා මට යෝජනා කළා. මේ දේවල් ඉවසන්න බැරි තැන මගේ පවුලේ අය ඇවිත් මේ ගැන අදාළ පුද්ගලයා එක්ක කතා කළා.

“නමුත් ඊට පස්සේ තමයි මට සෑහෙන විඳවන්න වුණේ. මේ ලිංගික අල්ලස ඉල්ලපු පුද්ගලයා සෑහෙන බලයක් තියෙන කෙනෙක්. එයා ඒ බලය පාවිච්චි කරලා මම වැඩ කළ තැන සෑහෙන ප්‍රශ්න ඇති කළා. මම ගණිකාවක් කියලා කට කතා පැතුරුවා.

“මට උසස් අධ්‍යාපනයට අවශ්‍ය නිර්දේශ ලබා නොදුන්නා විතරක් නෙමෙයි, වෙනත් විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලැබුණු ශිෂ්‍යත්වය පවා නතර කෙරෙව්වා. වැඩ කරන තැන අනෙක් අයව මට එරෙහිව එයා යොදා ගත්තා. හැබැයි මම මේ ගැන රැකියා ස්ථානයට වගේම කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කළා.

“රැකියා ස්ථානයේ දිගින් දිගටම පැමිණිලි විභාග කළත්, ඒවායේදී මගෙන් ප්‍රශ්න ඇහුවේ මම වැරදිකාරයා විදිහට. තවත් ගැහැණු ළමයින්ට එයා මේ විදිහට කරදර කළත් බලයට තියෙන බයට ඒ කිසි කෙනෙක් එයාට විරුද්ධව යන්නේ නැහැ.

“නමුත් පිටත දී දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙනවා.

“මගෙන් වුණ වැරැද්ද තමයි ලිංගික අල්ලස ඉල්ලපු වෙලාවෙම පොලිසියට පැමිණිලි නොකරපු එක. කාන්තා හා ළමා කාර්යංශයත් මට ඒ බව කිව්වා.

“මේ සිද්ධීන් නිසා මම දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඒක මගේ ශාරීරික සෞඛ්‍යයටත් තදින් බලපාලා තියෙනවා. හැබැයි මම සටන අත්හරින්නේ නැහැ. වරදේ පැටලෙන්නේ නැතිවම මම වින්දිතයෙක් වෙලා, සෑහෙන දේවල් නැති වෙලා. අවාසනාවට මේ සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලි නීතියක්වත් නැහැ,” නවෝද්‍යා තවදුරටත් පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: