hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:02



ජැක්සන් ඇන්තනී හැකියාවන් තුළින් හෙළ කලා කෙත පෝෂණය කළ අති විශිෂ්ට කලාකරුවෙක් කියන එකට තර්කයක් නැහැ. 

එමෙන්ම මහා සිංහලයේ වංශ කතාව සීරුවට ගොනු කරමින් විද්වත් කතිකාවක් ඇති කළ අති දක්ෂ පූරකයකු ලෙසින්ද ඔහු ඔබ හමුවට ආවා.

කලාතුරකින් බිහිවන එවැනි විශිෂ්ට කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනී 2023 ඔක්තෝබර් 09 දා අප අතරින් සදහටම සමු ගත්තේ ඒ පසුගිය වසරේ ජූලි 03 වැනිදා සිදුවූ මාරාන්තික අනතුරින් දින හාරසිය පනස්අටකට පසුවයි. ඔහු මෙම කාලය තුළ වැඩිපුර සිටියේ සිහිසුන්වයි.

මේ කාලය පුරාම ඇතැමුන් මේ අග්‍රගණ්‍ය කලාකරුවාට බොහෝ නින්දා අපහාස කළා.

ඒ අවාසනාවන්ත සිදුවීමට මූලික වූයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ හිතලු නිසාය. එසේත් නැත්නම් කිසිවක් සොයා නොබලමින් බොරු බේගල් වැපුරූ නොමිනිසුන් නිසාය.

ජැක්සන් මේ අනතුරට මුහුණ දුන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි වීමට තලාව ප්‍රදේශයට ගොස් එදිනට නියමිත රූපගත කිරීම් නිමවා යළිත් අනුරාධපුර නගරය දක්වා ගමන් කරමින් සිටියදීයි.

ජැක්සන් තම සොහොයුරා වූ සමන් ඇන්තනී හා සම්බන්ධීකරණ සහායකයා වූ ඉරේෂ් ලක්මාල් සමඟ රූගත කිරීම් අවසන් කර ගොස් තිබෙනවා.

මෙසේ ගමන් ආරම්භ කළ වාහනය තලාව මාර්ගය ඔස්සේ ඉදිරියට ආවේ සාමාන්‍ය වේගයකිනි. එතැන් සිට මේ කතාවේ ඉතිරිය කියන්නට දන්නා ඉරේෂ් ලක්මාල් මෙසේ හඬ අවදි කළා.

“පහුවැනිදා අපේ සර්ට ෂූටිං තිබුණේ නැහැ. ඒ නිසා සර් කිව්ව වැව් මාළු ටිකක් හදලා කන්න ආසයි. අපි උදේ අරගෙන හදමු කියලා. එහෙම කියන්න හේතුව තමයි සර්ගේ මල්ලි හොඳ චෙෆ් කෙනෙක්  වීම. ඔහු ඉතාලියේ තමයි සේවය කරන්නේ. ලංකාවට ආවේ ටික දවසකට.ඉතින් මේවා කතා කරන ගමන් සර් කිව්ව ජිම් එකකටත් යන්න ඕන කියලා. සර් හැමදාම ජිම් එකකටත් යන නිසා.ඔහොම කතා කර කර සර් ආවේ 40- 50 අතර පොඩි වේගයකින්.

මොකද වාහනය හයියෙන් ගියොත් බොයිල් වෙන ලෙඩක් තිබුණු නිසා.කොහොම හරි මෙන්න මේ වෙලාවේ තමයි ලයිට් නැති පාරේ කළුවරේම පාර මාරුවෙන අලියෙක්ව දැකලා සමන් ඇන්තනී අංකල් කෑ ගැහුවේ ‘පොඩි අයියේ ඔන්න අලියෙක්.’ කියලා. ඒත් එක්කම අපේ සර් අලියව බේරගන්න වාහනය පැත්තකට කැපුවා. ඒත් එක්කම අලියව වාහනයේ වැදිලා බොනට් එක උඩට පෙරළුණා. ඊළඟට අලියා නැඟිට්ටා. ඒත් එයාට වාරු නැති වුණා. ඒ නිසාම ආපහු සැරයක් අලියා පෙරළුණේ කැබ් එකේ වහල උඩට.’

“ ඊට පස්සේ මම කැබ් එකේ පිටුපස ‍ෙදාර ඇරගෙන බැහැලා කෑ ගහලා අවට සිටි අයගෙන් ආධාර ඉල්ලුවා. ඒත් කවුරුත් ළං වුණේ් නැහැ. ඒකට හේතුව තමයි ඒ වෙද්දිත් අලියා වහල උඩ දඟල දඟල හිටපු එක. ගමේ අය ළං නොවුණෙත් ඒ නිසා. අන්තිමට මම කෝල් එකක් අරන් මේ ගැන රේණුකා බාලසූරිය අක්කට කිව්වා.එහෙම කියලා මේ විධියට මම කර කියාගන්න දෙයක් නැතිව ඉද්දී අලියා බැහැලා අමාරුවෙන් යන්න ගියා. මම ඒ එක්කම සර් ළඟට දිව්ව. සර් කිව්වා “ඉරේෂ් මගේ බෙල්ල රිදෙනවා. මට අමාරුයි ඉරේෂ්” කියලා. ඔන්න එතකොටම වගේ මිනිස්සු පිරුණා. සර්ව එළියට ගත්තා. සෝමරත්න මහත්තයා එතැනට ආවේත් ඒ වෙලාවෙයි.”

මේ කාලය පුරාවට ජැක්සන් ඔහුගේ සහායකයාගේ සුවදුක් විමසා බැලීමට පවා කතා කළා. ඔහුගේ මවුපියන් සමඟ පවා වරක් දෙවරක් කතා කොට පෙන්නුවේ ඔහුගේ මනුස්සකමය.

“සර් නිතරම මම ගැන උනන්දු වුණේ” මටත් තුවාල වෙලා ඇති කියලා හිතලා. මම දන්නවා මා එක්ක වාහනයේ යද්දිත් හයියෙන් බ්රේක් ගහන්න වුණොත් වම් අතින් මාව අල්ල ගන්නවා..

”කොල්ලෝ උඹට තුවාල වෙයි කියලා එහෙම අල්ලන්නේ. ඒ තරම් අනුන් ගැන හිතන කෙනෙක් තමයි අපිට නැති වුණේ.”රෝහලේ සිටියදීත් අනුන් ගැන සොයා බැලූ මේ උදාර පුද්ගලයා ගැන ඔහු එසේ සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: