hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:23



අපේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් අති දක්ෂ සිනමා තරුවක් එහෙමත් නැත්නම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ.

ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටයක් පසුගිය කාලයේ රූපගත කිරීම් කළා.

ඒ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය නියෝජනය කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා.

මීට මාස ගණනාවකට පෙරදී ජැක්සන් ඇන්තනි මහත්මයා මේ චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා අනුරාධපුර ප්‍රදේශයෙන් නිවස බලා එන අතරතුරේදී දරුණු රිය අනතුරකට ලක්වෙනවා.

එම අවස්ථාවේ ජැක්සන්ව රෝහල්ගත කරන්න කටයුතු කරන්නෙ සෝමරත්න දිසානායක මහතා විසිනුයි.

කෙසේ වෙතත්, සෝමරත්න දිසානායකට “සිංහබාහු” චිත්‍රපටය සඳහා අකිල ධනුද්දර යොදා ගැනීමට සිදුවනවා.

ජැක්සන්ගේ අනතුර ගැන සෝමරත්න දිසානායක මෙසේ සඳහන් කළා.

ලෝකේට මේ මහපොළෙව මතට අසාමාන්‍ය මිනිසුන් බිහිවෙන්නේ කලාතුරකින්.. එහෙම කලාතුරකින් බිහිවෙන පුද්ගලයින් අතලොස්සයි අපිට හම්බවෙලා තියෙන්නේ අපේ ජීවිත කාලයේ දී.. එහෙම අසාමාන්‍ය පුද්ගලයෙක් බිහිවෙන්න රටක් පිං කරලා තියෙන්න ඕනේ.. රටක වාසනාව තියෙන්න ඕනේ.. රටක වාසනාවට තමයි එහෙම අසාමන්‍ය කුසලතා තියෙන කෙනෙක් බිහිවෙන්නේ.. ඒ වගේම අසාමාන්‍ය කුසලතා තියෙන කෙනෙක් රටට අහිමි වෙන්නේ ඒක රටේ තියෙන අවාසනාව වෙන්න ඕනේ.. එතකොට අපි හිතනවා ජැක්සන් වාගේ කෙනෙක් අපේ ලංකාවේ බිහිවුණේ ලංකාවට තිබුණ වාසනාවක් හින්දා.. මේ මහපොළෙවේ තිබුණු වාසනාවක් හින්දා.. ඒ වගේම තමයි ජැක්සන් කියන එක්කෙනා අපිට අහිමි වෙන්නේ, අපේ රටේ තිබුණු ආවසනාවක් කියලා..

ජැක්සන් අසාමාන්‍ය පුද්ගලයෙකු වනවා හේතු කිහිපයක් නිසා.. ජැක්සන් කලාකරුවෙක් හැටියට රට හඳුනන්නේ මොන ක්ෂේත්‍රයෙන් ද කියලා අපිට හොයා ගන්න අමාරුයි.. මොන පැත්තෙන් ගත්තත් ජැක්සන් ඒ හැමතැනම හිනිපෙත්තේ ඉන්නවා.. එහෙම චරිත අපි දැකලා නැහැ.. එහෙම කලාකරුවෙක් අපිට අහිමි වෙනවා කියන්නේ අපේ අවාසනාව..

ජැක්සන් මගේ සිංහබාහු චිත්‍රපටයේ රඟපාමින් සිටිය දී තමයි මේ අනතුරට මුහුණ දෙන්නේ… නමුත් අපි බලාපොරොත්තු වුණේ නෑ ජැක්සන්ට මේ වාගේ අවසානයක්.. අනතුර දරුණුයි.. නමුත් එක මරණීය තුවාලයක් නොවන වග අපි දැනගෙන හිටියා.. ‌ජැක්සන්ගේ පළමුවෙනි ශල්‍යකර්මයෙන් පස්සේ ජැක්සන් අපිත් එක්ක කතා කළා.. අපිට අපැහැදිලි අපි නොදන්නා කරුණු නිසා වෙන්න ඇති ජැක්සන් ඊට පස්සේ මේ වාගේ අසීරු තත්ත්වයට පත්වුණේ.. ඒක අපි දන්නේ නැහැ.. ඒක අපිට තවම ප්‍රශ්නයක්.. වෛද්‍යවරුන් ඒ ගැන අපිට පැහැදිලි කළ යුතුයි මොකක්ද සිද්ධ වුණේ කියලා..

කොහොම වුණත් හැමදෙයක්ම සිද්ධ වෙලා ඉවරයි.. මේක අපේ අභාග්‍යයක්.. රටේ අභාග්‍යයක්..අපේ රටට නෙමෙයි ජැක්සන් කියන චරිතය අපේ ලෝකයට වටිනා චරිතයක්.. ඒක නිසා මේක අපි හැමදෙනාගේම අභාග්‍යයක් විදිහට තමයි අපි සලකන්නේ.. අපි ප්‍රාර්ථනා කරන්නේ ජැක්සන් වගේ විරල චරිතයක් ලංකාවේ යළි බිහිවේවා කියන ප්‍රාර්ථනය තමයි අපිට කරන්න තියෙන්නේ..

ජැක්සන් හදිසි අනතුර සිදුවෙලා විනාඩි ගාණකින් මම එතන හිටියේ.. මොකද එදා රූගත කිරීම් බොහෝම සාර්ථකව කෙරුණා.. ජැක්සන්ට හරි සතුටුයි.. ජැක්සන් මාව බදාගෙන කිව්වා ජැක්සන්ගේ වචනවලින්ම කියනවා නම් “ මචෝ.. අද වැඩේ මරු.. අපි හැන්දෑවට සෙට් වෙන්න ඕනේ..” කියලා.. ජැක්සන් ඉතාම ප්‍රීතියෙන් එදා හිටියේ.. මම කිව්වා “ ජැකා උඹ පලයන් හෝටලයට කලින් මම පස්සේ එන්නම්..” කියලා මට එතන තිබුණු වැඩ ඉවර කරලා මම වැඩිවෙලාවක් ගත්තේ නැහැ.. කොහොම හරි ජැක්සන් මට විනාඩි ගාණකට කලින් පිටත් වුණා.. මම පස්සෙන් ආවේ..

ජැක්සන්ගේ සිරිතක් තියෙනවා, ජැක්සන්ට මගේ ප්‍රධාන නළුවා නිසා ඔහුට මම වෙනම වාහනයක් සහ රියදුරෙක් සුදානම් කරලා තියෙනවා.. නමුත් ජැක්සන්ගේ පුරුද්දක් තියෙනවා එයා තමයි එයාගේ වාහනේ පදවා ගෙන යන්නේ.. එයාට දීලා තියෙන වාහනේ රියදුරා එයා පාවිච්චි කරන්නේ නැහැ.. පරණ පුරුදු කැබ් එක එයා Love කරන කැබ් එක එයාම පදවා ගෙන යනවා.. එදත් එහෙම තමයි ගියේ.. ඊට වාහන කිහිපයකට පස්සෙන් මාගේ වාහනේ ආවේ.. මම දැක්කා වාහන තදබදයක් තියෙනවා.. ඒ දවස්වල අරගලය කාලේ අපි හිතුවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා බැහැලා බලනකොට තමයි ජැක්සන්ගේ වාහනේ තියෙනවා වහලේ නෑ.. නොම්බරේ මම අඳුනන නිසා මේ ජැක්සන්ගේ වාහනේනේ.. කෝ ජැක්සන් කියලා කෑ ගහනකොට තමයි දැක්කේ ජැක්සන් පාරේ අයිනේ නිදිකොරෝලා හිටියා..කෙළින්ම මම ජැක්සන් ළඟට ගිහිල්ලා ජැක්සන්ට කතා කරන කොට ඇස්දෙක ඇරලා මම දිහා බලලා කිව්වා “සෝමේ මට අමාරුයි” කියලා..

ඊට පස්සේ මම කෑගැහුවා එතන හිටපු මිනිස්සුන්ට ඇයි මේ මෙහෙම පාරේ අයිනේ තියලා තියෙන්නේ.. ඊට පස්සේ මිනිස්සු කිව්වා වාහන නවත්තන්නේ නෑ සර් කියලා.. මගේ වාහනේ තියෙනවා මගේ ඩ්‍රයිවර්ට කෑ ගහලා වාහනේ ගෙන්නගෙන මමයි තවත් කිහිපදෙනෙකුයි එකතු වෙලා.. මම දන්නවා අනතුර බෙල්ලේ අමාරුව ටිකක් හොඳ නැති නිසා.. වෛද්‍ය ක්ෂේත්‍රය දන්න නිසා මම අල්ලා ගෙන කෙලින් අල්ලා ගෙන පිරිසකගේ උදව් ඇතිව මගේ වාහනයට දා ගෙන තමයි අනුරාධපුර රෝහලට අපි අරන් ගියේ.. අනුරාධපුර රෝහලේදී කරන්න ඕනේ හදිසි ප්‍රතිකාර ඔක්කෝම කරලා එතන වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත එදාම පැය ගාණක් ඇතුළත අපි කොළඹ මහරෝහලට අරගෙන ආවා..

එතනදී ඒ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය දේවල් ඔක්කෝම කළා කියලා මම හිතනවා.. අපිට හැමදෙයක්ම කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් සිදුවුණා කියලා කියන්න පුළුවන්.. සමහර දේවල් තියෙනවා අපිට අපහැදිලි අපි දන්නේ නැති.. මම හිතනවා ඒ ප්‍රශ්න කොළඹ මහරෝහලේ වෛද්‍යවරු අපිට පැහැදිලි කළ යුතුයි.. මොකද ජැක්සන් ප්‍රධාන ශල්‍යකර්මයෙන් සනීප වුණා.. අපිත් එක්කත් කතා කළා.. ඊට පස්සේ තමයි ජැක්සන් මේ විදිහේ සිහි නැති තත්ත්වයකට පත්වුණේ.. ඒක වුණේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ.. ඒක වෛද්‍යවරුන් අපිට පැහැදිලි කරලා දිය යුතුයි.. ඒක ගැන අපි පස්සේ කතා කරමු..

මගේ චිත්‍රපයේ ප්‍රධාන චරිතය තමයි ජැක්සන් කළේ.. සිංහයාගේ චරිතය.. ජැක්සනුත් මගෙන් ඇහුවේ සිහිය ආව ගමන් “සෝමේ මොකක්ද Film එකට වෙන්නේ කියලා..” මම ජැක්සන්ට කිව්වේ “ජැකා Film එක ගැන හිතන්න එපා.. උඹ සනීප වෙලා ආවට පස්සේ අපි Film එක කරමු.. මම උඹ එනකම් බලාගෙන ඉන්නවා.. මට උඹ ඇර වෙන සිංහයෙක් නෑ.. මේ චරිතෙට කරන්න.. ඒක නිසා අපි ඒ ගැන පස්සේ කතා කරමු.. උඹ ඉස්සෙල්ලා සනීප වෙයන් කියලා..”

එහෙම ඉන්දැද්දී තමයි මේ තත්ත්වෙට අපි ආවේ.. අපි බලාගෙන හිටියා.. අපි හිතපු තරම් ඉක්මනට ජැක්සන් සුවපත් වුණේ නැති නිසා ජැක්සන්ගේම ආශිර්වාදය මත ජැක්සන්ගේ ලොකු පුතා අකිල ඒ චරිතය කළා.. එය ඉතාම සාර්ථකව කළා.. මම හිතනනවා ජැක්සන් කොහේ හරි ඉඳලා කවදා හරි බලාගෙන හිටියොත් Film එක දිහා තමන්ගේ ලොකු පුතාගේ සහ පොඩි පුතාගේ රංගන ගැන සතුටු වෙයි, අප්පච්චිගේ ගෞරව තියලා ඒ දරුවෝ දෙන්නා ඒ චරිතය ඉතාම සාර්ථකව කරලා තියෙනවා. අවාසනාව තමයි ඒක දකින්න ජැක්සන් නැති වීම ගැන.. කොහොම වුණත් දැන් අපිට ජැක්සන් නැහැ.. ඒක අපිට පුරවන්න පුළුවන් අඩුවක් නෙමෙයි.. පුරවනවා නම් පුතාලා දෙන්නාට තමයි ඒක කරන්න පුළුවන්..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: