hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:07



ආහාර නොමැතිවීම හේතුවෙන් කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් සියයට 25ක් පමණ දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කළා.

ආහාරවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හමුවේ ආහාර මිලදීගැනීමට හැකියාවක් නොමැතිවීමෙන් දිවයිනේ ප්‍රදේශ බොහෝමයක ජනතාව ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය සීමා කර ඇති බව සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.

‍මෙවන් තත්ත්වයක් තුළ පාසල් පැමිණෙන දරුවන් බොහෝමයක් උදෑසන රැස්වීමේදී ක්ලාන්තවී ඇදවැටෙන බව අනුරාධපුරයේ තන්තිරිමලේ පාසල් කිහිපයකින්ම වාර්තා වෙනවා.

පවතින ආර්ථික දරිද්‍රතාවය හමුවේ බොහොමයක් දරුවන් ආහාර නොගෙන පාසලට පැමිණෙන බවට වාර්තා වීම හේතුවෙන් එම දරුවන් සඳහා ආහාර ලබා දීමේ අපූරු වැඩපිළිවෙළක් පිළිබඳ පුවතක් සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයට අයත් නමඩගස්වැව මහා විද්‍යාලයේ අපට වාර්තා වෙනවා.

ඒ අනුව ආහාර නොමැතිව පාසලට පැමිණෙන දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමේ අරමුණින් පාසල තුළ ආහාර බැංකුවක් පවත්වාගෙන යාමට විදුහල්පතිවරයා සහ ගුරුවරුන් එක්ව කටයුතු කර තිබෙනවා.

මෙහිදි දිනපතා පාසලට පැමිණෙන ගුරුවරුන් විසින් වැඩි පුර බත් පැකට් එකක් හෝ දෙකක් රැගෙන විත් පාසල තුළ ස්ථාපිත කර ඇති ආහාර බැංකුව තුළ තැන්පත් කරන අතර ආහාර නොගෙන පාසලට පැමිණෙන දරුවන්ට එම ආහාර තාන්පත් කර ඇති ස්ථානයට ගොස් බත් පැකට් එකක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

පාසලට පැමිණෙන බොහෝ දරුවන්ද පාසලේ උදෑසන රැස්වීම් අවස්ථාවන්හිදී ක්ලාන්තය හැදි බිම ඇද වැටීම් වාර්තාවීම නිසා මේ පියවර ගුරුමණ්ඩලය විසින් අරගෙන තිබෙන්නේ.

මේ අතර පාසලට පැමිණෙන විට දිවා ආහාරය රැගෙන නොඑන සිසුන් සිටින කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 12ක් තෝරාගෙන එම සිසුන්ට දිවා ආහාරය සැකසීම වෙනුවෙන් වියළි ආහාර සලාක ලබාදීම කැලණිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සිදු වුණා.

එම ආහාර සලාක එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබාදුන් අතර ඒවා විදුහලේදී පිළියෙළ කර පාසල් ළමුන්ට ලබාදීමට නියමිතයි.

ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩපිළිවෙලක් පාසලේ ගුරුවරුන් විසින් ආරම්භ කර තිබුණා.

ඒ මව්පියන් මෙන්ම සමාජ සුබසාධන සංගම්වලද දායකත්වයෙන්.