hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 02, පෙ.ව. 4:53



රාත්‍රී කාලයේ දී කාන්තාවන් නිදා සිටි අයුරු නැරැඹීමට නිවෙස් තුළට එබී බැලීමේ සිද්ධියක් මුල් කරගෙන දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයකු පහර දීමට යොදා ගත් යකඩ පොල්ලක් සමඟ පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. සැරයන්වරයාගේ සමීප ඥාතියෙකු අඟුරුවාතොට ඈගල්හේන හංදිය ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී එබිකම් කර බැලීමේ සිද්ධියකට එම ගමේම පිරිසක් එම පුද්ගලයාට පසුගිය 17 වැනිදා පහරදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.

පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ගේ නිවාසවලට එබිකම් කර බැලී යැයි කියන පුද්ගලයාගේ බෑනා වන සැකකාර සැරයන්වරයා සහ යුද්ධ හමුදාවේ සේවය කරන පුතෙකු සහ තවත් පිරිසක් එක්ව පසුගිය 18 වැනිදා රාත්‍රී යකඩ පොලුවලින් සහ මන්නයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහිදී තුවාල ලද පුද්ගලයාගේ හිසට සහ දකුණු අතට මන්නා පහරක් එල්ල වීමෙන් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ හමුදා සෙබළෙක් ඇතුළු තවත් පිරිසක් ප්‍රදේශය හැර පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරීයකු පැවැසීය. සැකකාර ගුවන් හමුදා සැරයන්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.