hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 07, ප.ව. 2:19



දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇතැයි කියයි.

පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පරලවී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළා.

දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැයි එම නිලධාරියා පැවැසුවා.

ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුවහොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා.

දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන්  පොලිසියට පැමිණිලි කර තිබෙනවා.