hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජනවාරි 02, ප.ව. 2:21


බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩලයට පිරිසක් කල පහරදීමක් සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අද (02) දහවල් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සේවකයින් බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරත වුණා.

ජනවාරි 01වන දින සවස 6ට පමණ වයස අවුරුදු 18ක පමණ දැරිවියක් ගෙල වැලලාගෙන ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇයව බේරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් කලහකාරීව හදිසි ප්‍රතිකාර අංශයට බලහත්කාරයෙන් පිරිසක් ඇතුල්වී මෙම පහරදීම සිදුකල බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කලා.

මෙම පහරදීමට විරෝධය දක්වමින් හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් සේවකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය දියත් කල බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා බදුල්ල පොලීසියේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

ඒ අනුව මේ වන විටත් පහරදීමට අදාලව දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව බදුල්ල පොලීසිය සදහන් කලා.

ඉදිරි විමර්ශන කටයුතු බදුල්ල පොලීසිය සිදු කරනවා.

බදුල්ල – ජයලත් දිසානායක