hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 12, ප.ව. 1:57


විද්‍යාපීඨවලට බඳවා ගැනීම සම්බන්ධව විශේෂ පණිවුඩයක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනීම තවදුරටත් කල් ගත වන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නවක සිසුන් බඳවා ගැනීමෙන් ගුරු අධ්‍යාපනඥයන් ඉවත්ව සිටීම මෙන්ම විද්‍යාපීඨවල පවතින අඩුපාඩු සපුරාලීමට මෙතෙක් නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

කලින් සැලසුම් කර තිබූ ආකාරයට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම, ගුරු සේවයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව ඇති වී තිබෙන වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් වර්ධක දොළහක් ලබා දීම මෙන් ම පීඨවලට අවශ්‍ය පහසුකම් ලබා දීම ද සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් අතර වෙනවා.

මෙවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනෙන හෙයින් දැනට පවතින පහසුකම් කිසිදු ආකාරයකින් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ ලේකම් ධම්මික මිරිහාන මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියාසිටියේ, පවතින ආර්ථික අර්බුදය මත පීඨවලට අවශ්‍ය සියලු යටිතලපහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කළ නොහැකි හෙයින් හදිසි පහසුකම් ලබා දීම සඳහා පමණක් ලෝක බැංකුවෙන් ආධාර ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.