hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජූනි 02, පෙ.ව. 8:54


පානදුරේ හදිසි ගින්නක් – ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන් විනාශයි

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය මහවල පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය සඳහන් කළා.

එම ගබඩාවේ රුපියල් කෝටි 7කට ආසන්න දේපල ගබඩා කර තිබූ බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් ලබා දී නැතැයි පොලිසිය සඳහන් කරනවා.

ගින්න නිවීම සඳහා හොරණ කළුතර මොරටුව හා දෙහිවල නගර සභාවල ගිනි නිවන ඒකක කැඳවා තිබෙනවා.

කොරෝනා ඇදුම් කට්ටල , මුහුණු ආවරණ , ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවේදී පළඳින ඇඳුම් පැළඳුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ රැසක් එහි ගබඩා කර තිබී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

අලුයම 2ට පමණ එම ගින්න පිළිබඳ හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ගොඩනැගිල්ලේ අයිතිකරු දුරකථන ඇමතුමක් හරහා දැනුම් දී ඇති ගිනි නිවන නිලධාරීන් එම ස්ථානයට පැමිනෙන විට අති විශාල ගින්නක් දෙමහල් ගොඩනැගිල්ල පුරා පැතිරී යමින් තිබෙනවා.

ඒ අනුව සහාය සඳහා දෙහිවල කළුතර හා මොරටුව නගර සභාවල ගිනි නිවන ඒකක ද කැඳවූ බව හොරණ නගර සභාවේ යාන්ත්‍රික ගිනි බට පි ඩි අබේපාල මහතා පැවසුවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ ඇතුළු ජල බවුසර් 11 මෙන්ම ගිනි භටයන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.

ගින්න ඇතිවන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ කිසිවකු නො සිට ඇති අතර ගින්න පිළිබඳ දැඩි සැකයක් හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

ගොඩනැගිල්ල කුලියට ලබාගත් පුද්ගලයා මේ ආකාරයෙන් මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක ද කොරෝනා ඇඳුම් ගබඩා කර තිබී ඇති අතර එය ද මීට මාස දෙකකට පමණ ඉහත දී ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙය ගිනි ගැනීමක් ද ගිනි තැබීමත් ද යන්නත් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙනවා.

ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර තිබූ දේපළ මෙන්ම ගොඩනැගිල්ලට ද දැඩිව අලාභානි වි සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

හිරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 100048 චාමර ,102254 හේරත් මහත්තුරු පරීක්ෂණ පවත්වනවා.