hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 මැයි 27, ප.ව. 2:21


ගෑස් නිසා පාරිභෝගිකයන් හා ආපන ශාලා හිමියන් අතර උණුසුම් තත්ත්වයක්

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කරනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිසි ක්‍රමවේදයක් යටතේ ලබා දෙන ලෙස බලකරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් අද (27) දින හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

උද්ඝෝෂණයේ නිරතව සිටි හැටන් ප්‍රදේශවාසින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා හමුවේ කියා සිටියේ හැටන් නගරයේ ඇතැම් ආපනශාලා හිමියන් සහ වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින පිරිසක් විසින් සංවිධානාත්මකව ගෑස් සිලින්ඩර් අලෙවි නියෝජිත අලෙවිසැලට සමාගමෙන් නිකුත් කිරිමට ප්‍රථම ගෑස් අලෙවි නියෝජිත අලෙවිසැල ඉදිරිපිට පදික වේදිකාවේ හිස් ගෑස් සිලින්ඩර් තබා දම්වැල් දමා ගැට ගසා තැබිම හේතුවෙන් තමන්ට නිවසට අවශ්‍ය ගෑස් සිලින්ඩරයක් මිලදි ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

උද්ඝෝෂකයන්ගේ ඉල්ලිමක් මත හැටන් දික්ඔය නගර සභාව මගින් පදික වේදිකාව අවහිර වන පරිදි තබා ඇති ගෑස් සිලින්ඩර් ඉවත් කිරිමට යාමේදි ආපනශාලා හිමියන් සහ පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එහිදි ආපනශාලා හිමියන් කියා සිටියේ අලෙවි නියෝජිත අලෙවිසැල ඉදිරිපිට තබා ඇති හිස් ගෑස් සිලින්ඩර් ඉවත් කරගත නොහැකි බවත්, එසේ ඉවත් කර ගැනිමට කටයුතු කලහොත් හැටන් නගරයේ සියළුම ආපනශාලා වසා දැමිමට පියවර ගන්නා බවයි.

එසේ ආපනශාලා වසා දැමුවහොත් සේවකයන් ගණනාවකට රැකියා අහිමි වන බවත්, ආපනශාලා වසා දැමිමෙන් පාරිභෝගිකයන්ද පිඩාවට පත් වන බවයි. 

එහිදි පාරිභෝගිකයන් කියා සිටියේ ආපනශාලා වසා දැමුවට තමන්ට ගැටළුවක් නොවන බවත්, සෑම පාරිභෝගිකයෙකුටම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබාදිමට නගර සභාව කටයුතු කල යුතු බවයි.

දෙපාර්ශවය අතර ඇති වු දැඩි නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ හිස් ගෑස් සිලින්ඩර් ඉවත් කිරිමට නගර සභාව කටයුතු නොකල අතර, හැටන් පොලිසියේ නිලධාරින් සහ ග්‍රාමසේවා නිලධාරින් සමග සාකච්ඡා කර සෑම පාරිභෝගිකයෙකුටම සහ ආපනශාලා හිමියන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබා ගැනිමේ වැඩපිලිවෙලක් සකස් කිරිමට කටයුතු කරන බවයි.