hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 අප්‍රේල් 20, ප.ව. 8:46


ආණ්ඩුව වහා ඉල්ලා අස්වන්න – ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් රතු එළියක්

මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ධම්ම දස්සී ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල ස්වාමින් වහන්සේලාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ නිවේදනය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් වෙතයි.

එහි සදහන්ව තිබෙන්නේ රට තුළ උද්ගතව ඇති වත්මන් සමාජ , ආර්ථික අර්බුධය කඩිනමින් විසදීමෙහිලා ත්‍රෛනිකායික පූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවට සාධනීය අවධානයක් යොමු කර නොමැති බවයි.

විශේෂයෙන් ජනතාව මේ වන විට පත්ව ඇති අසීරුතා පිළිබදවත් ඒ වගේම ජනතාව නිදි මරමින් මේ පෝලිම් වල රැඳී සිටීම පිළිබඳව කටයුතු නොකරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් සමස්ත රටවාසීන් අත්විඳින පීඩාවට රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකු ම වගකිවයුතු බව මහා නායක ස්වාමීන් වහන්සේලා දැනුම් දෙනවා.

එම නිසා එම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් උන් වහන්සේලා සඳහන් කරන්නේ පක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් මහජනතාව පිළිබදව සංවේදීව රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙකු ම කටයුතු කළ යුතු බවත් ඉතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි.

මේ කරුණු පිළිබඳ අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටළු පිළිබඳව අසංවේදී ව රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට මෙම ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බවත් දැනුම් දෙනවා.