hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 පෙබරවාරි 29, ප.ව. 4:02


හිටපු ජනපති මෛත්‍රීට පැජට් නිල නිවස අහිමි වෙයි

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.