hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 16, පෙ.ව. 10:01


අදත් ගිගුරුම් සහිත වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

උතුරු පළාතේ සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවද සඳහන්.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, අද පස්වරු 05 දක්වායි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කළවාන සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ අදියර තුන යටතේ වන ඉවත්වීමේ රතු නිවේදනය තවදුරටත් වලංගු වෙනවා.

මේ අතර කලූතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශය මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, කොළොන්න, අයගම, ඇළපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, නිවිතිගල සහ කහවත්ත යන ප්‍රදේශවලට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දෙන නිවේදනය ද තවදුරටත් වලංගු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කලූතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්ව සිටින ලෙසට නිකුත් කළ නිවේදනය ද තවදුරටත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.