hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 25, පෙ.ව. 10:09



සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින්  සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර අලෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130කට වඩා වැඩි බදු මුදලක් අහිමිවන බව ශ්‍රී  ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

මත්පැන් අලෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධික වූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170කටත් අඩු මුදලක් බවද ඔහු සඳහන් කළා.

මහනුවරදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.

ඇල්කොහොල් සඳහා කෘත්‍රිම රා නිෂ්පාදනයේදී ශරීර සෞඛ්‍යයට අහිතකර නොයෙකුත් විසද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තා මඟින් ද තහවුරු කර තිබෙන බවත් ශ්‍රී  ලංකාවේ අලෙවි කරන රා වලින් 90%ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර බවත් මේ හේතුවෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග රැසක් වැලඳීමට හේතු වී ඇති බවද හෙතෙම පැවැසුවා.

මෙරට ඇතැම් කෘත්‍රිම රා නිෂ්පාදකයන් අලි නිර්වින්දනය කිරීම සඳහා යොදා ගන්නා නිර්වින්දන ඖෂධ පවා රා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වන බවත් එබැවින් සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විධිමත් සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීති විරෝධී මත්පැන් ජාවාරම රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මේ වනවිට 300%කින් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසුවා.

එසේම නීතී විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට පියවර නොගතහොත් රජය අපේක්ෂා කරන බදු ආදායම ලබා ගැනීමට නොහැකි වන බවද ඒ මහතා සඳහන් කළා.

තවද ඇතැම් මත්පැන් නිෂ්පාදනාගාර හිමිකරුවන් විසින් සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත් මේ වනවිට සුරාබදු නිලධාරීන් අමු අමුවේම පනත උල්ලංඝනය කරමින් මත්පැන් නිෂ්පාදකයන්ට සිල්ලරට මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර ලබා දෙන්නේ යැයිද අවධාරණය කර සිටියා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය නොමැතිව මත්පැන් බලපත්‍රයක් කුලියට දීම තහනම් වුවත් එවැනි දේ නිතර සිදු වන බවත්  ඇතැම් සුරාබදු නිලධාරීන්ට මෙය ඉල්ලමක් වී ඇති බවත් කී ඒ මහතා නව අල්ලස් හා දූෂණ පනත කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළා.

ශ්‍රී  ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ  අදහස් දක්වමින් සුවඳ විලවුන්, තීන්ත වැනි දේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා එතිල් ඇල්කොහොල් යොදා ගනිමින් ඇතැම් කුඩා පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයන් මත්පැන් නිෂ්පාදනය කරන බවත් මෙම මත්පැන් භාවිතය නිසා හෘදයාබාධ, පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පැහැදිලි ලෙසම පවතින බවත් සඳහන් කළා.

මේවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිසි අවධානයක් යොමු නොකරන බවත් දැඩි දඬුවම් ලබාදිය යුතු මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව අනුගමනය කරන්නේ සමථකරණයකට එළැඹීම වැනි ක්‍රියා බවත් ඔහු කියා සිටියා.

සංගමයේ සභාපති අජිත් උඩුගම මෙහිදී කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇති නව අල්ලස් හා දූෂණ පනත ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් මේ තත්ත්වය යම් තරමකට හෝ සමනයට පත් කිරීමේ හැකියාව ඇති බවයි.