hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජූනි 02, පෙ.ව. 8:27



මහ බැංකුවේ පොළී අනුපාත අඩු කිරීමත් සමග මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් අඩුවන ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවනවා.

මහ බැංකුව විසින් ඊයේ සිට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු හරහා පාරිභෝගිකයන් වෙත ඉදිරියේදී ලැබෙනු ඇති බවට රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 2.5 කින් ඉදිරියේ දී වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය අඩු වනු ඇති බවයි.

ඒ සඳහා අදාල නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 2.5 කින් (පදනම් අංක 250 කින්) අඩු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (31) පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.5 සිට සියයට 13 දක්වා ද මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.5 සිට සියයට 14 දක්වා ද අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අපේක්‍ෂා කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය සහ උද්ධමනාත්මක පීඩනයන් අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබෙනවා.

මැයි මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ද ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවා ගොස් ඇතැයි ද එසේම ඉකුත් අප්‍රේල් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 454ක විදේශ විනිමය ප්‍රේෂණ රටට ලැබී ඇතැයි ද මහ බැංකුව තවදුරටත් සඳහන් කළා.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (01) මහ බැංකු මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ මහ බැංකුව විසින් සිදුකරන ලද මේ පොලී අනුපාත අඩුකිරීමේ සහනය, බැංකුවල වෙළෙඳපොළ පොලී අනුපාත අඩුවීම හරහා ඉතා ඉක්මනින්ම මහජනතාවට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.