hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 20, පෙ.ව. 8:50



විදුලිය ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව භාණ්ඩ හා සේවාවන් රැසක මිල ගණන් විශාල ලෙස ඉහළ දැමෙන බව දැනටමත් නිවේදනය කර තිබෙනවා.

මෙවර විදුලිය ගාස්තු වැඩිවීම 60%ක්. මෙයට මාස 6කට පෙර 2022 අගෝස්තු මාසයේදී විදුලිය ගාස්තු 76%කින් ඉහළ ගියා. මේ අනුව මාස 6ක් තුළ විදුලිය බිලේ නැගීම 142%ක්.

ආහාරපාන අංශයේ බත් පැකට්, කෙටි කෑම, ප්ලේන්ටි, කොත්තු හා බේකරි නිෂ්පාදනවල මිල ගණන් 10%කින් පමණ මේ වනවිටත් ඉහළ දමා තිබෙනවා.

ඒ සමඟ නිමි ඇඳුම් නිෂ්පාදකයන් ප්‍රකාශ කර ඇත්තේ තම නිෂ්පාදන මිල 20%කින් ඉහළ දැමෙන බවයි.

ඡායාපිටපත්වල මිල ගණන් එකක් රුපියල් 5කින් වැඩිකරන බව එම සේවා සපයන්නන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයද ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් සපයන සේවාවන්හි මිල ගණන් වැඩි කිරීමට නියමිත බවයි. 

ආහාරපාන දවටන ආදියේ මිල ගණන්ද වැඩි කිරීමට නියමිත යැයි දැනගන්නට තිබෙනවා.

එහෙත් ඒවායේ මිල ඉහළ දැමෙන ප්‍රතිශත මෙතෙක් නිවේදනය කර නොමැත. එසේම වී මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාන වියදමද ඉහළ ගොස් ඇති බැවින් දේශීය සහල් මිල ගණන් වැඩිවීමක් අපේක්ෂා කරන බව පාරිභෝගික සංගම් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරන පිරිවැයෙන් සියයට 35 ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

නව විදුලි ගාස්තු සංශෝධනය සමග මෙම පිරිවැය තවත් වැඩිවනවා.

කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වනවා.